Sunday, September 22, 2024

General line - 0115112241

අවාරයේ ශ‍්‍රී පාද කරුණාවට තහනම් කරන බව ශ‍්‍රී පාදස්ථානාධිපති කියයි




මෙවර ශ‍්‍රීපාද වන්දනාවාරය අවසන්වීමෙන් පසු අවාරයේ රාත‍්‍රී කාලයේ ශ‍්‍රී පාදය කරුණාකිරීම තහනම් කරන බව ශ‍්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. 

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඉකුත් වසරේ අවාර සමයේදී ශ‍්‍රී පාදය කරුණාකර ඇතැම් පිරිස් බුදුදහමට අගෞරව වන ආකාරයෙන් හැසිරී ඇති බවයි. 

ඇතමුන් ජාතීන් අතර අසමගිය ඇති කෙරෙන පරමාර්තයෙන් කටයුතු කර ඇති බව ද උන්වහන්සේ ප‍්‍රකාශ කළා. 

2016 - 2017 ශ‍්‍රී පාද වන්දනාවාරය ලබන වෙසක් පුන් පොහෝ දිනයෙන් වනවා. 

ඒ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප‍්‍රදානීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියා. 

අවාරයේ දිවා කාලයේදී කිසියම් වන්දනා නඩයක් ශ‍්‍රී පාදය කරුණා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නල්ලතණ්නිය පොලිසිය දැනුවත් කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

තමන් වහන්සේ ඉලක්ක කර ගනිමින් ඉකුත් සමයේදී ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවි ඔස්සේ විවිද මඩ ප‍්‍රචාර දියත්වූ බවයි පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් ප‍්‍රකාශ කළේ. 

තමන් සැම විටම බුදු දහම සහ ශ‍්‍රී පාදස්ථානය රැක ගැනීමට කැපවී කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා.