Sunday, September 22, 2024

General line - 0115112241

බෞද්ධ රටවල් 10 ක් දියවන්නාව යාබද වෙසක් කලාපය සරසයි - විශේෂ ප්‍රයෝග සහ සැරසිලි රැසක්




මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර මේ වනවිට ජාත්‍යන්තර සංවිධාන හා ආයතන, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන මෙම කටයුත්තට දායකත්වය දක්වමින් සිටිනවා.

ශ්‍රී සම්බුද්ධ චරිතය හා බොදු සිතුවිලි හා බුද්ධාලම්භන ප්‍රීතිය ඉස්මතු වන ආකාරයට නිර්මාණ ඉදිකිරිම මේ වනවිටත් ආරම්භ වී තිබෙනවා.

මැයි මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන  දියවන්නා වෙසක් කලාපයට යාබදව එක්සත් ජාතීන්ගේ වෙසක් කලාපයේ ඉදිකිරීම් ද මේ වන විට සිදුවෙමින් පවතිනවා. කලාපීය බෞද්ධ රටවල් 10 ක සහභාගිත්වයෙන් ඉදිවන මෙම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් කලාපය තුළ ඒ ඒ රටවල්වල බෞද්ධ අනන්‍යතාව විදහා දක්වන පරිදි නිර්මාණ ඉදිරිපත් කරනු ලබනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙම ජාත්‍යන්තර වෙසක් කලාපය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකීය බෞද්ධ පිළිබිඹුව ප්‍රදර්ශනය කිරීම පැවරී තිබෙනවා.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් හා මෙහෙයවීම මත මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දියවන්නාව ආශ්‍රය කරගනිමින් පුරාණයේ බෞද්ධාගමින් පෝෂණය වූ වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි සංකල්පය තේමා කරගනිමින් ඓතිහාසික අනුරාධපුර භූ දර්ශනය මෙම ස්ථානයේ ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙහිදී විශේෂිත ආලෝක රටා හා විශේෂ ප්‍රයෝග භාවිත කරමින්  බුද්ධාලම්භන ප්‍රීතිය ඉස්මතුවන ආකාරයේ සජීවීකරණයක් මෙම ස්ථානයට පැමිණෙන සියලු ජනතාවට දැකබලා ගැනීමේ හැකියාව උදාවනු ඇති. අඩි සියයක් පමණ උසකින් යුත් දාගැබක් මෙම ස්ථානයේ ප්‍රතිනිර්මාණය කෙරේ . නිර්මල ථේරවාදී  බුදුදහම ශ්‍රී ලාංකේය ජන සමාජය සුපෝෂණය කරමින් ගලා ගිය ආකාරය මේ තුළින් වඩාත් ඔප් නැංවීමට නියමිතයි.