Saturday, September 21, 2024

General line - 0115112241

වෙසක් සමයේ විදුලි ඉල්ලුම ඉහළ පහළ ගිය හැටි විදුලිබලෙන් පැහැදිළි කරයි




වෙසක් උත්සව සමයේදී විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ රජයේ කාර්යාල සහ කර්මාන්ත ශාලා මෙම දිනවල වසා තිබීම මීට හේතුවිය හැකි බවයි. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "පසුගිය 10 වැනි සහ 11 වැනි දින දෙක තුළ පද්ධතියේ විදුලි ඉල්ලුමේ අඩුවක් අපිට නිරීක්ෂණය වුණා. වෙසක් උත්සවය එළඹීමට කළින් දිනවල ගිගාවොට් පැය 44 ක් වූ විදුලි ඉල්ලුම මේ වන විට ගිගාවොට් පැය 33 ක පමණ අගයකට පැමිණ තිබුණා. මේකට විශේෂයෙන් කර්මාන්තශාලා, වායුසමීකරණ භාවිත අඩු වීම බලපාලා තියෙනවා." යනුවෙනි.

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් පරිදි වැසි නොලැබීම නිසා ජල විදුලි උත්පාදනය ද ඉතා අඩු මට්ටමක පවතින බවයි මෙහිදී  වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ. ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාවල ජල මට්ටම 28% ක මට්ටමක පමණ ඇති බවත් පෙන්වා දුන්නා. මේ නිසා තවදුරටත් ජලවිදුලිය නිපදවීම සිදුවන්නේ 10%ක 12%ක ප්‍රමාණයකින් පමණක් බවත් පැවසුවා. මේ නිසාවෙන් තවදුරටත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.