Saturday, September 21, 2024

General line - 0115112241

GSP ප්ලස් සමග කෝටි පන්දහසක් - යුරෝපා කොමිසම ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලන දේත් හෙළි වෙයි




ලබන 19 වැනි දා සිට යළි ලබා දෙන ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය මගින් ශ‍්‍රී ලංකාවට වසරකට රුපියල් කෝටි පන්දහසකට අධික ආදායමක් හිමි වනු ඇතැයි යුරෝපා සංගමය පවසනවා. 

මේ බව ප‍්‍රකාශ වුනේ ශ‍්‍රී ලංකාවට යළිත් වරක් ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබා දීමේ තීරණය පිළිබඳ දැනුම් දීම සඳහා කොලඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ යුරෝපා සංගමයේ වෙළඳ කොමසාරිස් සෙසිලා මල්මස්ටෝම් පැවසුවේ ශ‍්‍රී ලංකා රජය අන්තර්ජාතික සම්මූතීන් හා මානව හිමිකම් කේෂ්ත‍්‍රයන්හි ලබා ඇති ප‍්‍රගතිය ජී එස් පී සහනය යළි දිනා ගැනීමට හේතු වූ බවයි. 

එහෙත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ඉතා හොඳ යැයි ප‍්‍රකාශ කිරීමක් එමගින් අදහස් නොකරන බව ඇය සඳහන් කළා. 

මේ අවස්ථාවේ පවතින තත්ත්වය සර්ව සම්පූර්ණ බව කිසිවෙකුත් ප‍්‍රකාශ කරන්නේ නැහැ. 

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණ විය යුතුව තියෙනවා. 

වද හිංසා, බාල වයස්කරුවන් බලහත්කාරයෙන් විවාහ කරවීම මෙන්ම සමාජීය වෙනස්කම් කිරීම වැනි දේවල් බෙහෙවින් වාර්තාවෙමින් තිබෙන බවයි ඇය කියා සිටියේ. 

එවැනි දේවල් අවසානයකට ගෙන ඒම යුරෝපා කොමිසමේ අවශ්‍යතාව බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙවැනි කරුණු අතින් ශ‍්‍රී ලංකාව ලබන ප‍්‍රගතිය අධීක්ෂණය කිරීමට රාජ්‍ය නොවන සංවිධාන සමග යුරෝපා හවුල දැඩි වුනන්දුවකින් කටයුතු කරන බවයි එහි වෙළඳ කොමසාරිස් සෙසිලා මල්මස්ටෝම් වැඩිදුරටත් සඳහන් කළේ. 

ජී එස් පී ප්ලස් බදු සහනය මගින් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ද වාසියක් අත්වන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.