Monday, April 29, 2024

General line - 0115112241

සංහිඳියාව විනාශ කරන කණ්ඩායමක් ගැන පොලිසිය අවධානයෙන්




ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමේ ප‍්‍රයත්නයක නිරතවී සිටින කණ්ඩායමක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

එවැනි කණ්ඩායම්වල උත්සහයන් හඳුනා ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමටත් රජයෙන් පොලිසියට උපදෙස් ලැබී ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

ඊයේ දිනයේ පානදුර නගරයේ පිහිටි මුස්ලිම් බැතිමතුන් වැදුම් පිදුම් කරන ස්ථානයකට එවැනි පාර්ශ්වයක් අලාභ හානි කිරීමට තැත් කර තිබෙනවා.

පෙට‍්‍රල් පිරවූ වීදුරු බෝතලයකින් අදාළ ස්ථානයට දමා ගසා ඇති අතර එය පුපුරා ගොස් නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් විමර්ශන ආරම්භකර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළා.

මේ අතර මෙම සිද්ධියෙන් පසු පානදුර අවට මුස්ලිම් දේවස්ථාන 17ක මවුලවිවරුන් පානදුර පොලිස් අධිකාරී රොෂාන් ප‍්‍රනාන්දු විසින් කඳවා තිබෙනවා.

ජාතික සංහිදියාවට බාධා කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක බවත් එවැනි පුද්ගලයින්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ජාතික සංහිදියාවට බාධාවක් මතු නොවන අයුරින් කටයුතු කරන ලෙසත් පොලිසිය එම මවුලවිවරුන්ගෙන් ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.