Saturday, September 21, 2024

General line - 0115112241

සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් ගැන හෙළිදරව්වක්




සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා පවසනවා. 

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නා හිමි බැහැ දැකීමෙන් අනතුරුව හිටපු මන්ත‍්‍රීවරයා ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා. 

පල්ලි වලට ගල් ගසන බවත් දුප්පත් මිනිසුන්ගේ ගෙවල් කඩා දමන බවත් මීට පෙරද මෙවැනි සිදුවීම් වල පලපුරුද්දක් තිබෙන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

සිංහල ජනතාව සමග මුස්ලිම් ජනතාව වෛරයක් ඇති කරගෙන, සිංහල ජනතාව සමග ජීවත් වනවාට වඩා දෙමළ ජනතාව සමග ජීවත් වීම හොඳ යැයි මතයක් නිර්මාණය කරමින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා

ආණ්ඩුවක් මාරු කිරීමට සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා කියා සිටියේ

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ක‍්‍රියාකාලපය සම්බන්ධයෙන් ද මහ නා හිමියන් දැනුවත් කළ බවයි හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. 

ඥාණසාර හිමියන් කුමන කොන්ත්‍රාත්තුවක් මත මෙවැනි දෑ සිදු කරනවාද යන්න තමා නොදන්නා බවත්, අල්ලා දෙවියන් හා නබි තුමන් උන් වහන්සේ විවේඡනය කරන බවත් මෙලෙස නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට උන් වහන්සේට නොහැකි බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉකුත්දා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශයට පැමිණ අමාත්‍ය මනෝ ගනේෂන් සමග සංවාදයක් ඇතිකර ගත්තා.

 ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊයේ පැවති උත්සවයකදී අදහස් පල කරමින් කියා සිටියේ බෞද්ධ භික්ෂුවක ලෙස ඉවසීම කරුණාව මෛත්‍රිය අත්හැර තම අමාත්‍යංශයට කඩා වැදී හැසිරුණ බවත් තමා බෞද්ධයෙකු නොවෙතත් තමා බෞද්ධයෙකු ලෙස හැසිරුණ බවයි.