Wednesday, December 25, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අදත් වැසි සහ තද සුළං




දිවයිනේ දිස්ත‍්‍රික්ක 07කට නිකුත් කෙරුණු නාය යාමේ අවදානම තවදුරටත් ක‍්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවලට මෙම අවදානම පවතින බවයි.

ඒ අනුව එම දිස්ත‍්‍රික්කවල නාය යාමේ සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතිනු ඇති.

මෙම ප‍්‍රදේශවල හදිසියේ ඇති වන ආගන්තුක ජල පහරවල් හෝ මඩ මිශ‍්‍රිත ජල ගැලීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

මේ අතර දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (04) දිනයේ ද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට තද වැසි ඇති විය හැකි බවයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් වව්නියාව දිස්ත‍්‍රික්කයේත් සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කවලට පැයට කිලෝමීටර් 50 දක්වා වූ තද සුළං ඇති වීමේ අවදානමක් ද පවතිනවා.

දිවයින හරහා ද එලෙස තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

පුත්තලමේ සිට කන්කසන්තුරේ හරහා ත‍්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකියි. එම මුහුදු ප‍්‍රදේශ තරමක් රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.