Wednesday, December 25, 2024

General line - 0115112241

ආපදා මරණ සංඛ්‍යාව වැරදියි - නිවරැදි කිරීම මෙන්න




අධික වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ පවුල් 7131කට අයත් පුද්ගලයින් 25245 දෙනෙකු තවදුරටත් අවතැන් කඳවුරුවල රඳවා සිටිනවා.

ඔවුන් වෙනුවෙන් කඳවුරු 225 ක් තවදුරටත් පවත්වාගෙන යන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 211ක්.

කෙසේවෙතත් ඊයේ (03) දින නිකුත් කෙරුණු වාර්තාවේ දැක්වුණේ ආපදා මරණ සංඛ්‍යාව 224 ක් බවයි. 

මාතර දිස්ත්‍රික්කයේ ආපදා මරණ සහ අතුරුදන් වූවන් පිළිබඳ සංඛ්‍යා ලේකනවල ඇති වූ දත්ත වාර්තා කිරීමේ දෝෂයක් නිසා මෙම වෙනස ඇති වී තිබෙනවා.

කෙසේවෙතත් අද උදෑසන නිකුත් කෙරුණු වාර්තාව අනුව තහවුරු කෙරුණේ  ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 211ක් බවයි.

පවුල් එක් ලක්ෂ හැත්තෑ නව දහස් තුන්සිය හැත්තෑ හයකට අයත් පුද්ගලයින් හය ලක්ෂ අනූ අට දහස් දෙසිය අසූ නව දෙනෙකු පීඩාවට පත් වුණා. 

මේ අතර දිස්ත‍්‍රික් ආපද කළමනාකරණ මධ්‍යස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් ක‍්‍රියාත්මකයි.

කිසියම් පුද්ගලයෙකුට රජය මගින් ලබා දෙන සහනාධාර නොලැබෙන්නේ නම් ග‍්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශ මත හා ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය අනූව ඒ පිළිබඳ දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. 

මේ අතර අද දිනයේ ද දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තවද නිවාස ආශ‍්‍රිතව ඇති පානීය ජල ප‍්‍රබව ගං වතුරට හසු වූයේ නම් කඩිනමින් ඒවා පිරිසිදු කර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මසක පමණ කාලයක් ගත වන තුරු මෙම පානීය ජල ප‍්‍රභවවලින් ලබා ගන්නා ජලය හොඳින් උතුරවා භාවිතයට ගැනීම කළ යුතු බවයි. 

ගං වතුර නිසා වෙළඳසැල් බොහෝමක් විනාශ වූ අතර ඒවායේ ඇති ආහාර සියල්ල විනාශ කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.