Thursday, September 19, 2024

General line - 0115112241

ජාති - ආගම් ගැන පලවන ෆේස් බුක් සටහන් සොයා පොලිස් මෙහෙයුම්




ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ ක‍්‍රියාවන්හි නිරත පුද්ගලයින් හෝ කණ්ඩායම් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසනවා. 

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තම පොලිස් බල ප‍්‍රදේශය තුළ මෙවැනි යම් ගැටුම්කාරී හෝ අනර්තකාරී සිද්ධියක් ඇති වුවහොත් එහි පූර්ණ වගකීම සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන් දැරිය යුතු බවයි. 

එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද දැඩි කැපවීමකින් යුතුව ක‍්‍රියා කළ යුතු බවටයි දැනුම් දී ඇත්තේ. 

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මේ වනවිට ඒ පිළිබඳ සියලූ පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් චක‍්‍රලේඛණයක් යැවීමට ද කටයුතු කර තිබෙනවා. 

මෙවැනි ගැටුම්කාරී සිද්ධීන් ඇති කරන ඉතා සුළු පිරිසක් සමාජ ජාල වෙබ් අඩවි තුළ අසත්‍ය ප‍්‍රචාර කරමින් ජාතීන් අතර විරසක ඇති කිරීමට හා ආගම්වලට අපහාස වන ආකාරයේ විවිධ ප‍්‍රකාශ සිදු කරන බව මේ වනවිටත් හදුනාගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ. 

මේ අතර නාරම්මල ප‍්‍රදේශයේ හෝටලයකින් ලබා දෙන ආහාර පාර්සල්වල වද භාවයට පත් කරන බෙහෙත් අඩංගු බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පල කර තිබූ පුවත සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසනවා. 

එහි දී අනාවරණ වී ඇත්තේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යය ප‍්‍රචාරයක් බවයි. 

එම අසත්‍ය ප‍්‍රචාරය සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිටත් පොලිසිය කටයුතු කරමින් සිටිනවා. 

පොලිස් මූලස්ථානය කියා සිටියේ ඉදිරියේදී මෙවැනි ප‍්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පල කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට වෙනම විමර්ශන කණ්ඩායමක් යෙදවා ඇති බවයි.