Monday, May 20, 2024

General line - 0115112241

ලන්ඩන් ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකා පිලේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්




බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මේ වනවිට එරට සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. 

ශ‍්‍රී ලංකා පිල මේ වනවිට බි‍්‍රතාන්‍යයේ සිටින්නේ ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහායි. 

ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමට මේ වනවිට ලබා දී ඇති ආරක්ෂාව සහ ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නෙත් ස්පොර්ට්ස්මන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහගෙන් විමසීමක් කළා. 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ කියා සිටියේ මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට ගැටළුවක් නොවන බවයි. 

ශ‍්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම සෙසු කණ්ඩායම් ද ඉදිරියේදී ගත යුතු ආරක්ෂක විධි විධාන පිලිබඳ නිල වශයෙන් දැනුම් දීමක් සිදු කරන බව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ප‍්‍රකාශ කළේ යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා. 

මේ අතර ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට අදාලව මේ වනවිට පැවැත්වෙන පකිස්තාන ඉන්දියා එක්දින තරගයට පෙර අදාළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පල කිරීමක් සිදු වුණා. 

ඒ සඳහා කණ්ඩායම් දෙකේ ක‍්‍රීඩකයින් මෙන්ම සහය දැක්වීමට පැමිණ සිටි පේ‍්‍රක්ෂකයින් ද නිශ්ශබ්දතාවය රකිමින් සිය දායකත්වය ලබා දුන්නා. 

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු නෙත් නිවුස් විදෙස් ප‍්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.