Sunday, May 12, 2024

General line - 0115112241

ඉන්දියාව පරදා පාකිස්තානුවෝ ශූරයන්ගේ කුසලානය දිනති




2017 වසරේ පැවති අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්තානය සමත් වුණා. 

ඒ අවසන් මහා තරගයේදී ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 180කින් පරාජයට පත් කරමින්. 

ඉන්දීය නායකයාගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 දී කඩුලූ 04කට ලකුණු 338 ක් රැස් කළා. 

සිය පළමු තරගාවලියට සහභාගි වන ෆකර් සමාන් එහි දී සිය මංගල ශතකය රැස් කිරීම ද විශේෂත්වයක්. 

ලකුණු 339ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 30 යි පන්දු 03ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158ක් පමණයි. 

එහි දී සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වෙමින් හර්දික් පාණ්ඩියා හයේ පහර 06ක් සමග පන්දු 43ක දී ලකුණු 76ක් රැස් කළා. 

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 22 සීමාව පසුකර යාමට නොහැකි වුණා. 

ඉන්දීය ඉනිමේ මුළ සිටම පකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයක්. 

ඉන්දීය ඉනිමේ පළමු කඩුලූ 03 ලකුණු 33ක් තුළ බිද වැටුණා. 

තවත් කඩුලූ 03ක් තවත් ලකුණු 39ක් තුළ බිද වැටීමත් සමග ඉන්දීය කණ්ඩායමට පරාජයේ දොරටු විවර වුණා. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අමීර් ලකුණු 16කට කඩුලූ 03ක් බිද හෙළුවා. 

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ සිටි ශිකර් දවාන්, රෝහිත් ශර්මා සහ විරාත් කෝලි අමීර්ගේ පන්දු හමුවේ දැවී ගිය ක්‍රීඩකයින්. 

හසන් අලී ලකුණු 19කට කඩුලූ 03 යි. ඔහු විසින් ජස්ප්‍රිට් බුම්රාගේ කඩුල්ල දවා ගැනීමත් සමග බොහෝ කාලයක් පාකිස්තානය බලා ගෙන සිටි ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට හැකි වුණා. 

පකිස්තානය යනු මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇති බවට කිසිවෙකුත් අනාවැකියක් හෝ පල නොකල කණ්ඩායමක්. 

ඔවුන් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ ද අවසන් මොහොතේයි. 

ඒ, ශ්‍රේණිගත කිරීමේ අට වන ස්ථානයේ හෙවත් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම ලෙසයි. 

තරගාවලියේ පකිස්තානය සහභාගි වූ පළමු තරගයේ දී ඔවුන් ඉන්දියාව හමුවේ ලකුණු 124කින් පරාජයට පත්වුණා. 

අවසානයේ ඉන්දියාවම පරාජය කරමින් පකිස්තානය, ශූරයින්ගේ කුසලානය ඉතිහාසයේ පළමු වරට දිනා ගන්නවා. 

මෙවර ශූරතාවය දිනා ගත් පකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් හය දෙනෙකුම මෙතෙක් එක්දින තරග 50 සීමාවත් පසු කර නොතිබීම ද විශේෂත්වයක්. 

අවසන් තරගයේ වීරයා ලෙස ෆකර් සමාන් සම්මාන දිනා ගත් අතර හසන් අලී තරගාවලියේ වීරයායි.