Monday, April 29, 2024

General line - 0115112241

තරගයට මොහොතකට පෙර පොතක් කියවා ඉන්දීය ක්‍රිකට් ක‍්‍රීඩිකාව ලොවක් කළඹයි




මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගය අතරතුර ඉන්දීය කණ්ඩායමේ නායිකා මිතාලි රාජ් සිදු කළ ක‍්‍රියාවක් ලොව පුරා දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, එම තරගයේ දී ඇය පන්දුවට පහරදීමට යාමට පෙර පොතක් කියවන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමගයි.

පසුව පිටියට පිවිසි ඉන්දීය නායිකාව ලකුණු 71ක් රැස් කළ අතර එය කණ්ඩායමේ ජයග‍්‍රහණයට ද හේතුවක් වුණා.

ඇය මෙම තරගයේ දී ලෝක වාර්තා දෙකක් බිහි කිරීමට සමත්වීමද විශේෂත්වයක්. ඇය එහිදී බිහි කළේ එක්දින තරගවල වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කළ ක‍්‍රීඩිකාවට හිමි වාර්තාව සහ අඛණ්ඩව වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කිරීමේ වාර්තාවයි.

පසුව කළ විමසීමක දී ඇය ප‍්‍රකාශ කර ඇත්තේ 13 වන ශතවර්ෂයට අයත් පර්සියානු කවි පොතක් තමන් කියවූ බවයි. විශේෂ අවස්ථාවල දී තමන් තැති ගන්නා බවත් ඉන් මිදීමට එවැනි පියවරක් අනුගමනය කළ බවත් ඉන්දීය නායිකාව පවසා තිබෙනවා.