Sunday, September 22, 2024

General line - 0115112241

රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යන නව පනතක් ගැන මහින්ද හෙළි කරයි




ආණ්ඩුව විසින් අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගැසට් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ යෝජිත නව නීතිය හරහා ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට විදෙස් රටවලට හා ජාත්‍යන්තර අධිකරණවලට බලය ලබාදෙන බවයි. 

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පුද්ගලයෙකු අතුරුදන් කරවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕනෑම අයෙකු තමාට භාරදෙන මෙන් විදේශ රටකට ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට හැකි වනවා.

පනතට අනුව ශ්‍රී ලංකාව තුළ අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා විධි විධාන සැලසීමට බලය ලැඛෙන බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

අතුරුදන් කරවීම්වලට සම්බන්ධ පැහැරගෙන යාම, රඳවාගෙන සිටීම, ඝාතනය කිරීම හා මෘතදේහ විනාශ කිරීම හෝ සැඟවීම වැනි කරුණු මෙරට නීතියෙන් ආවරණය වනවා. 

එම නිසා යෝජිත නව නීතියෙන් සිදු කරන සැබෑ කාර්යභාරය වන්නේ විදේශීය පාර්ශවවලට මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රමයට අතපෙවීමට ඉඩ සැලසීම පමණක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව හා කැනඩාව ඇතුළු රටවල් රැසක් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නැහැ. 

එසේ කර ඇත්තේ එමඟින් තම රටවල පුරවැසියන්ගේ පෞද්ගලික අයිතීන් බරපතල ලෙස උල්ලංඝණය වීමට ඇති ඉඩකඩ නිසා බවයි මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ. 

නව කෙටුම්පතෙන් යුද අපරාධ යන වචනය ඉවත් කර, අතුරුදන්වීම් වශයෙන් සඳහන් කර ඇත්තේ මෙරට රණවිරුවන් විදේශීය රටවල අධිකරණවලට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණවලට පාවා දීමට බවද ඔහු පවසනවා. 

මෙහි අරමුණ අතුරුදන්වූවන් සෙවීම නොව ත්‍රස්තවාදය නැති කළ අය දඩයම් කිරීමක් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. 

යුද්ධයේ දී අතුරුදන් වූ දහස් ගණනක් වූ හමුදා සාමාජිකයින් දැනටමත් මියගොස් ඇති බවට සැලකෙනවා. 

ඒ නිසා මෙම යෝජිත නව නීතිය යටතේ සැලකිල්ලට ගැනෙන්නේ කොටි සංවිධානයේ අතුරුදන්වූවන් පමණයි. 

එබැවින් මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම, කොටි ඩයස්පෝරාවට සහ ඔවුන්ට උඩගෙඩි දෙන විදේශීය බලවතුන්ට මෙරට පාවාදීමක් වන බව සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිල්ලට ගත යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.