Sunday, September 22, 2024

General line - 0115112241

වචනයෙන් නැතත් ව්‍යවස්ථාවේ ෆෙඩරල් තියෙනවා




ජාතික ගැටළුවට විසඳුමක් ලබා ගැනීමට බිහි කළ නව ආණ්ඩුව පරාජයට පත් කිරීම අනුවණ ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. 

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් යාපනයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ අනුව ඉදිරියට යාමට රජයට සහය දී ඉලක්ක සම්පූර්ණ කර ගන්නා බවයි. 

එහෙත් දෙමළ ජනතාවගේ ගැටළු විසඳා ගැනීමට නව ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නොලැඛෙන්නේ නම් ආණ්ඩුවට සහය ලබා නොදෙන බව ඔහු සඳහන් කළා. 

නව ව්‍යවස්ථාවට අදාළ අතුරු වාර්තාවේ ෆෙඩරල් යන වචනය නොමැති වුවද ඊට අදාළ කරුණු එහි ඇතුළත් බවයි සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පළාතකට කිසියම් බලයක් ලබාදුනහොත් මධ්‍යම රජය සිය බලය පාවිච්චි කර එය පාලනය කළ නොහැකියි යන්න එක් කරුණක්. 

ලබාදුන් බලය පළාතේ නියෝජිතයින්ගේ අනුමැතිය නොමැතිව නැවත ලබාගත නොහැකි බව ෆෙඩරල් ක්‍රමයට ඇතුළත් දෙවන කරුණ වනවා. 

අදාළ අතුරු වාර්තාවේ මෙම කරුණු දෙක තිබේනම් එය ප්‍රමාණවත් බවයි මන්ත්‍රීවරයාගේ අදහස වන්නේ. 

මෙම කරුණු සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාව සැකසීම පිළිබඳ කමිටුවේ සිටින දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් දැඩි අවධානයක් යොමු කර ඇති බවද එම් ඒ සුමන්තිරන් ප්‍රකාශ කළා.