Sunday, September 22, 2024

General line - 0115112241

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය විනාශයට අත වනයි




ලෝක අවධානය දිනා ගත් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිදුවන ලක්ෂ ගණනක මුදල් නාස්තියක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නෙත් නිවුස් සමත් වුණා.

ඒ, නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන හා සම්බන්ධ වූ අසන්නෙකු ලබා දුන් තොරතුරක් මත සිදු කළ වැඩිදුර විමර්ශනයකදීයි.

එහි දී අනාවරණය වුයේ ක‍්‍රීඩාංගණයේ ඇති ක‍්‍රීඩා සංකීර්ණය මේ වනවිට අබලන්වී ඇති බවයි. ලක්ෂ ගණනක මුදලක් වැය කර ඉදිකර ඇති මෙම ක‍්‍රීඩා සංකීර්ණය භාවිත කළ නොහැකි මට්ටමකට පත්වෙමින් ඇති බව ද අනාවරණ කර ගැණුනා. කිසිඳු නඩත්තු කටයුක්තක් සිදු නොකිරීම ඊට ප‍්‍රධානම හේතුවයි. 

දේශීය ක‍්‍රිකට් තරග සඳහා සහභාගි වන ක‍්‍රීඩකයින්ට පුහුණුවීම් සඳහා පහසුකම් ලබා දීමේ අරමුණින් මෙම ක‍්‍රීඩා සංකීර්ණය ඉදි කෙරුණා.

එහෙත් එහි ඉදි කළ කෘතීම තණ තීරු පවා මේ වනවිට විනාශ වෙමින් ඇති බවයි හෙලි වුණේ.

අබලන් වූ ක‍්‍රීඩා සංකීර්ණය ගාල්ල ජත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට මෙන්ම රටට ද අපකීර්තියක් ගෙන දෙන්නක් බවට පත්ව ඇති බවයි අදහස් දැක්වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ප‍්‍රකාශ කරන්නේ. 

පේ‍්‍රක්ෂකයින් තිස් පන් දහසකට පමණ තරග නැරඹිය හැකි මෙම ක‍්‍රීඩාංගණයේ පළමු තරගය පැවැත්වූයේ 1998 වසරේදීයි.

2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට දැඩි ලෙස අලාබ හානි සිදු වීමත් සමග ක‍්‍රීඩාංගණය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි අවධානයක්  ද මතු වුණා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සදාතනික ඡායාරූප 44ට ද විනාශ වූ ගාලු ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඡායාරූපය ඇතුළත්. 

යළි ප‍්‍රතිසංස්කරණය කළ එම ක‍්‍රීඩාංගණය ශ‍්‍රී ලංකාවට ඉතා වාසිදායක මෙන්ම සුවිශේෂී මතකයන් සහිත ක‍්‍රීඩා පිටියක් ලෙසටයි සැළකෙන්නේ.

ශ‍්‍රී ලංකාව ගාල්ලේ ක‍්‍රීඩා කළ තරග 25න් 13ක්ම ජය ගැනීමට සමත් වුණා. එමෙන්ම මුත්තයියා මුරලිදරන් සිය අටසියවන ටෙස්ට් කඩුල්ල දවාලමින් ලෝක වාර්තාවක් පිහිටවූයේ ද ගාල්ල ක‍්‍රීඩාංගණයේදීයි. 

පත්ව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් ක‍්‍රිකට් බලධාරීන් දැනුවත් කළා. ඔවුන් මෙහි දී කියා සිටියේ මේ පිළිබඳ කඩිනමින් සොයා බලා වහා පියවර ගැනීමට කටයුතු කරන බවයි.