Monday, April 29, 2024

General line - 0115112241

අස්ගිරි ප්‍රකාශය දිහා ආණ්ඩුව විතරක් නෙවෙයි විපක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය බලන්නෙත් නැහැ




අස්ගිරි සංඝ සභාවේ ඓතිහාසික ප්‍රකාශය නිසා ආණ්ඩුව පළිගැනීම් සිදු කරන්නේ දැයි සැකයක් පවතින බව පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා.කොළඹ අද (13) පැවති මහජන රාජ්‍ය සභාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළා.

අස්ගිරි සංඝ සභාවේ මහනායක හිමිවරුන් නව ව්‍යවස්ථාවකට පසුගියදා විරෝධය පළ කිරීමත් සමග, අස්ගිරි සංඝ සභාවට අයත් දඹුලු විහාරය වසා දැමීමට තීරණය කිරීම කවරෙකුගේ හෝ අවශ්‍යතාවයක් මත සිදුකරනු ලබන සිදුවීමක් හෝ යම්කිසි පළිගැනීමක් විය හැකි බවට සැකයක් මතුවන බව උන්වහන්සේ කියා සිටියා.

බොහෝ උරුමයන් රැකගෙන ඉදිරියට පැමිණි ජාතියක් වුවත් අද වන විට ආණ්ඩුවට කළ යුතු දේ හා නොකළ යුතු දේ අතර පැටලවී ඇතැයි උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නා. මෙරට 90%ක් පමණ පුරාවිද්‍යා ස්ථාන ලෙස බෞද්ධ සිද්ධස්ථාන ඇති නිසා පුරාවිද්‍යා ස්ථාන පන්සලෙන් ඉවත් කරන්නේ කෙසේ ද යන්න රජයට විශාල ගැටළුවක් වී ඇති අතර එයට සුදුසු බෙදීමක් සිදුකළ යුතු බවත්, උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.

අස්ගිරි සංඝ සභාවේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රමාණාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු නමුත් ජනතාව වෙනුවෙන් සෑම විටම පෙනී සිටින ඒකාබද්ධ විපක්ෂය හෝ විරුද්ධ පක්ෂය කිසිදු ප්‍රමාණාත්මක ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් පුදුමයට පත්වන බව ද ඉඳුරාගාරයේ හිමියන් මෙහිදී කියා සිටියා.