Monday, September 23, 2024

General line - 0115112241

විමල් ගියා කියා ව්‍යවස්ථාව හැදීම නවතියිද? නීතිවේදීන් කියන කතාව




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීමට ජාතික නිදහස් පෙරමුණ ගත් තීරණය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ස`දහා වූ කාර්ය පටිපාටියට බලපෑමක් ඇති නොකරන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ ඒ සම්බන්ධයේ මෙසේ පවසනවා.

"මුළු පාර්ලිමේන්තුවම ආණුඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස ක්‍රියා කළ, 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවෙදිත් මේ විදියට ඇතැම් පක්ෂ ඉන් ඉවත් වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ පක්ෂ ඉන් ඉවත් වුණා. හැබැයි ඒකෙන් කිසිදු බලපෑමක් වුණේ නැහැ. සමගි පෙරමුණේ මන්ත්‍රීවරු ඒ කටයුත්ත කළා."

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවාගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කෙසේ පැවතිය යුතුදැයි තීරණය කිරීමට පෙර සිදු කිරීමට අපේක්ෂා කරන්නේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමද, නැතහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතින්ම සම්මත කර ගැනීමක්දැයි පැහැදිලි කරගත යුතු බවයි. 


මේ අතර තමන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූ බවත්, ඒ නිසා උද්ගතවන අලූත් තත්වය පිළිබඳවත් කථානායකවරයා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ ඊයේ කියා සිටියා.