Tuesday, September 24, 2024

General line - 0115112241

රුපියල් 30000ක දඩයකටත් සූදානමක්! කැබිනට් අනුමැතිය ලැබූ පමණින් දඩ වැඩි කරන්න බැහැ!




රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පමණින් ක‍්‍රියාත්ම නොවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා. ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා පැවසුවේ මෙම සංශෝධන ක‍්‍රියාත්මක වීමට නම් ඒවා පාර්ලිමේන්තුවේ දී සම්මත විය යුතු බවයි.

මෝටර් රථ වාහන වැරදි සම්බන්ධයෙන් වූ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ අතර අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති වැරදි වන්නේ වලංගු බලපත‍්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, එවැනි බලපත‍්‍රයක් නොමැති අයෙකු රිය ධාවනය සඳහා සේවයේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, දුම්රිය මාර්ගවලට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම සහ වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනයයි.

තවත් වැරදි කිහිපයක් සඳහා ද දඩ මුදල් විවිධ ප‍්‍රමාණවලින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. වමෙන් ඉස්සර කිරීම සහ ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනය යන වැරදිවලට රුපියල් 2,000ක දඩයක් නියම කිරීමට එයින් යෝජිතයි. නොසැලකිලිමත්ව රිය ධාවනය සඳහා දඩය රුපියල 10,000 දක්වා වැඩි කිරීමට ද, නියමිත වයසට අඩු තැනැත්තන් රිය පැදවීම සඳහා අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කිරීමට ද යෝජිතව තිබෙනවා.

මීට අමතරව අදාළ දඬුවම පනතේ ප‍්‍රකාශිතව දක්වා නොමැති වැරදි සඳහා අවම දඩය රුපියල් 2,500 දක්වා වැඩි කිරීමට ද යෝජිතයි.