Sunday, May 5, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස ලක්ෂ 05 ඉක්මවයි




කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට මේ දක්වා පැමිණි සංඛ්‍යාව ලක්‍ෂ පහේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අතිසාර්ථකව මෙය පැවැත්වෙනවා. 

අද (18) දිනයේද විශාල පිරිසක් ප‍්‍රදර්ශන භූමියට පැමිණෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය, ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරුනු ලබන්නේ 19 වන වරටයි.

රථවාහන තදබදය අවම කර ගැනීමට සහ පැමිණෙන ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක බවයි පොත් ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දිවර ප‍්‍රකාශ කළේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට මෙවර ද නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කලාපයක්ද ප‍්‍රදර්ශන භූමිය තුළ ස්ථාපිත කර තිබෙනවා. අයි කිව් විශ්ව කෝෂය , අට පාස් වැනි පොත්, ධර්ම දේශනා, කලබල පැංචා වැනි වැඩසටහන් ඇතුළත් සීඩී පට මෙහිදී මහජනතාවට ලබා ගත හැකියි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබට දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් පුස්තකාල ඉදිකිරීම සඳහා කි‍්‍රයාත්මක දිරිය නෙත් සමාජ සත්කාරයට දායකවීමට ද අවස්ථාව උදාකර දී තිබෙනවා. ප‍්‍රදර්ශන භූමියේ ඇති නෙත් කලාපයට ඔබේ පොත් ගෙනවිත් බාරදීමෙන් ඊට දායක විය හැකියි.