Monday, May 6, 2024

General line - 0115112241

ශරීර අභ්‍යන්තරයේ පණුවන් සිටින රෝගය අනෙක් පැතිවලටත් ව්‍යාප්ත වීමේ අවධානමක්




දඹුල්ල සහ අවට ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් බොහෝ දෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ සිටි පණුවන් විශේෂයක් සොයා ගැනීම දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලට ද ව්‍යාප්ත විය හැකි තත්වයක් බව වෛද්‍යවරුන් පවසනවා.

දඹුල්ල රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ගාමිණී සේනානායක කියා සිටියේ මීට පෙරද දිවයිනේ ප‍්‍රදේශ රැසකින් මෙවැනි රෝගී තත්වයන් වාර්තා වූ බවයි.

මේ දිනවල දඹුල්ල, සීගිරිය ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවද ඔහු සඳහන් කළා. 

දඹුල්ල සහ අවට ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් බොහෝ දෙනෙකුගේ ශරීර අභ්‍යන්තරයේ සිටි පණුවන් විශේෂයක් පසුගිය දින කිහිපයේ සැත්කම් මගින් ඉවත් කර තිබෙනවා.

දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ දැනටමත් විසි දෙනෙකුගේ පමණ එලෙස පණුවන් ඉවත් කර ඇති බවයි. අඟල් 03ක් හෝ 04ක් පමණ දිගකින් යුත් සුදු පැහැති පණු විශේෂයක් මෙලෙස ශරීරයේ විවිධ ස්ථානවල අභ්‍යන්තරයේ කෝෂ සාදාගෙන ජීවත් වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ මෙම රෝගී තත්ත්වය ගෘහාස්ශ‍්‍රිත සතුන් අතර වාර්තා වන තත්වයක් බවයි.  

විශේෂයෙන් කුඩා දරුවන් මෙම රෝගී තත්වයට ගොදුරු වී තිබෙනවා. විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක සඳහන් කළේ ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීරගත විය හැකි බවයි. එමෙන්ම මදුරු විශේෂ මගින් මෙම පණුවා ශරීරගතවීමේ වැඩි ප‍්‍රවණාවක් පවතින බවද ඔහු කියා සිටියා.

එම මදුරුවන්ගේ බීජ මගින් ශරීරයට පණුවන් ඇතුළත් කිරීම සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අද සිදු කළ සැතකමකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ ශරීරයේ සිටි පණුවන් ඉවත් කිරීම සාර්ථකව සිදු කෙරණු බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක වැඩිදුරටත් පැවසුවා.