Sunday, May 5, 2024

General line - 0115112241

Ogilvy සමග නෙත් එකමුතුව 'ජාත්‍යන්තර සම්මානයට' පාත්‍රවූ වගයි 




හොංකොං හිදී පැවති SABRE  ආසියා ශාන්තිකර සම්මාන උළෙලේදී තරගකරුවන් 1,200 ක් අභිභවා ප්‍රමුඛතම සම්මාන රැසක් හිමිකරගැනීමට Ogilvy Public Relations  සමාගම සමත් වුණා. 

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා Ogilvy Public Relations  සමාගම නෙත් එෆ් එම් රේඩියෝව සමග  දියත් කළ ‘‘Uncover the Truth’ ප්‍රචාරණ වැඩසටහන වෙනුවෙන් මෙසේ විශිෂ්ටත්වයේ සහතික දෙකක් හිමිව තිබෙනවා.

ඒ, ‘Charities and Not-For-Profit’  කාණ්ඩයේ රන් සම්මානය  සහ 'Best-in-Show’ ප්ලැටිනම් සම්මානයි.

මෙම සම්මානය දිනාගැනීමට සමත් වූ ප්‍රථම සහ එකම මහජන සම්බන්ධතා සමාගම  Ogilvy Public Relations  සමාගම වන අතර ශ්‍රී ලාංකීය මාධ්‍ය ආයතනයක් සමග සහයෝගිතාවයෙන් මෙම වැඩසටහන දියත් කිරීම විශේෂත්වයක්.

Transparency International Sri Lanka  ආයතනය වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම සම්මාන හිමිවූ ප්‍රචාරණ වැඩසටහන 2017 පෙබරවාරි 04 වනදා දියත් කරනු ලැබුවා.

දශක දෙකකට අධික කාලයක් තිස්සේ පාර්ලිමේන්තු අනුමැතිය අපේක්ෂාවන් පැවති  අවසානයේදී අනුමත වූ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.

Uncover the Truth’ ලෙස නම්කර තිබූ මෙම වැඩසටහන නෙත් එෆ්එම් ගුවන් විදුලිය සහ  එහි වෙබ් අඩවි වන www.nethnews.lk  සහ www.nethgossip.lk වෙබ් අඩවි ඔස්සේ ජනතාව වෙත සමීප කරවනු ලැබුවා.. 

මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියේ තාක්ෂණික දායකත්වය   My Site It Solutions  සමාගම විසින් ලබාදෙනු ලැබූ අතර එය නෙත් එෆ් එම් මාධ්‍ය ජාලයේ සහෝදර සමාගමකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Ogilvy Group Sri Lanka හි සභාපති අර්වින් වීරක්කොඩි පහත පරිදි අදහස් දක්වනු ලැබුවා.

"Uncover the Truth වැඩසටහන අප දියත් කළ වැඩසටහන් අතර විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළ වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්. 
මෙය තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ රාජ්‍ය තොරතුරු අනාවරණය කිරීමට රජයේ නිලධාරීන් පෙළඹවීමට මෙන්ම මානව හිමිකම් කඩවීම්වලට ලක්වූ ජනතාව සහ ඔවුන්ගේ ඥාතීන් ඇතුළු බොහෝ දෙනා තුළ නව බලාපොරොත්තු දැල්වීමට සමත් වූ වැඩසටහනක් වූණා."  

Ogilvy Public Relations  සමාගම සමග සහයෝගිතාවයෙන් දියත් කළ මෙම සම්මානනීය ප්‍රචාරණ වැඩසටහන පිළිබද අදහස් දක්වමින් නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිළධාරි අසංග ජයසූරිය   සඳහන් කළේ "ජනතාව නිවැරදි මානයට යොමුකරන මාධ්‍ය මෙහෙවරක නිරතව සිටින ආයතනයක් ලෙස අප මෙම සම්මානය පිළිබද අප සතුටු වනවා.ශ්‍රී ලාංකීය රේඩියෝ කලාව තුල විප්ලවීය වෙනසක් සිදු කළ අප මේ වන විට ඩිජිටල් මාධ්‍ය තුළ ජයග්‍රහණ ලබමින් සිටිනවා.මෙය අපේ එම මෙහෙවර සඳහා ලැබුණු කදිම ඇගයීමක්." යනුවෙනුයි.

Global SABRE  සම්මානයක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකික මහජන සම්බන්ධතා සමාගම බවට පත්වීමටද Ogilvy Public Relations සමත් වී ඇති අතර එම සම්මාන 2017 ඔක්තෝබර් 25 වන දින ඇමරිකාවේ මයෑමි හිදී පිළිගැන්වීමට නියමිතයි.

සෑම වසරකදීම මෙසේ ලොව පුරා අතිසාර්ථක මහජන සම්බන්ධතා වැඩසටහන් 40 ක් තෝරාගෙන සම්මාන ප්‍රදානය කිරීම සිදුවන අතර ‘‘Uncover the Truth’ වැඩසටහන එම වැඩසටහන් 40 අතරට එක්වී ඇත.