Saturday, July 27, 2024

General line - 0115112241

දේශපාලන න්‍යාය ධර්මය තුළ "තනි පුද්ගලයෙක් අත ඇති බලයට විය යුතු දෙය" ජනපති 70 වැනි සැමරුම අරඹමින් කියයි (PHOTOS) (UPDATE)




නොඛෙදුණු ඒකීය රාජ්‍යයක සියලූ ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් මගින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (03) පස්වරුවේ පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.

පාර්ලිමෙන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම සහය ඒ සඳහා අපේක්ෂා කරන බව ද කියා සිටියා.

"තනි පුද්ගලයෙක් අත ඇති බලය සාමුහිකත්වයට යොමුවිය යුතු බැවින් එම දේශපාලන න්‍යාය ධර්මය තුළ කටයුතු කරමින් රටේ ආර්ථීක සමෘද්ධිය ඇති කිරීමට කැපවෙමු" යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී සියලූදෙනාට ආරාධනා කළා.

එමෙන්ම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගැටුම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය සඳහන් කළ ජනාධිපතිවරයා ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් වූ උත්තරිතර ආයතනය ලෙස පාර්ලිමේන්තුවට ලැබී ඇති ව්‍යවස්ථාදායක බලය කිසිසේත් කිසිවෙකුට අභියෝගයක් නොවන ආකාරයෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම විධායකයේ තිබිය යුතු ක්‍රමිකබව සහ විධිමත්බව තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් නීතියේ ආධිපත්‍යය ද තහවුරු කළයුතු බව කියා සිටියා.

නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ දී අධිකරණයට ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කිරීමේ අයිතිය තහවුරුකර දියයුතු බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
 
70 වසරක කීර්තිමත් පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සුවිශේෂී මෙහෙවරක නිරතවූ සියලූ දේශපාලන නායකයින් ද මෙහිදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලැබුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුථ දේශපාලන නායකයින් විසින් සභාව ඇමතූ අතර සාර්ක් රාජ්‍යයන් හි සියලූ පාර්ලිමේන්තුවල කතානායකවරු, නියෝජ්‍ය කතානායකවරු ඇතුථ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මීට එක්ව සිටියා.

---------------------------------------

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වැනි සැමරුම ඇරඹෙයි (UPDATE)

(03-10-2017 14:55)

සමන්ත කුමාර - පාර්ලිමේන්තුවේ සිට

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අදට වසර 70ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැසි වාරය අද (03) පස්වරුවේ ආරම්භ වුණා.

ඒ, ජනාධිපති මෛත‍්‍ර‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙම විශේෂ පාර්ලිමේන්තු සැසි වාරය සඳහා සාර්ක් කලාපීය රටවල කථානායකවරුන්, නියෝජ්‍ය කතානායකවරුන් සහ විදෙස් නියෝජිතයින් ද  එක්ව සිටින බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සභාව අමතා අදහස් පළ කළා.

 

--------------------------------

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වන සැමරුමට සියල්ල සූදානම් (UPDATE)

(03-10-2017 13:41)

ශ්‍රී ලංකාව තුල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය අද (03) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිත තිබෙනවා.

ඒ සඳහා සියලු කටයුතු මේ වනවිටත් සූදානම් බවයි නෙත් නිව්ස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

සාර්ක් රාජ්‍යයන්හි කතානායකවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සභා වාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

ආරාධිතයින් පිළිගැනීමට ත්‍රිවිධ හමුදා කණ්ඩයන් සූදානම් වන අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.

 

------------------

නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් ඉදිරි ගමනට සුබ පැතුමක් මෙන්න (03-10-2017 06:05)

සර්වජන ඡන්දයෙන් තේරී පත්වන ආසියානු කලාපයේ පැරණිතම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අදට (03) වසර 70ක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් අද (03) පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් පැවැත්වීමට නියමිතයි. සාර්ක් කලාපීය රටවල් නියෝජනය කරන කථානායකවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වනවා.

ඒ අනුව ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, නේපාලය හා පාකිස්තානයේ කථානායකවරුන් මෙම සැසිවරයාට සහභාගි වී විශේෂ දේශන පැවැත්වීමට නියමිතයි.

ඒ පිළිබ පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ කථානායක කරු ජයසූරිය කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදාය හා නීතියේ ආධිපත්‍ය තවදුරටත් ආරක්ෂා කරමින් ඉදිරියට කටයුතු කිරිම සඳහා උණුසුම් සුබ පැතුම් එක්කරන බවයි.

පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකගැනීමට කටයුතු කළ යුතු බව ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළා.