Sunday, September 8, 2024

General line - 0115112241

උමා ඔය මරපු පොළොවට කෘතීම විසඳුමක් යෝජනා කරන ගැමියා

චම්ලි ඒකනායක




“අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවටපත් ජනතා එකමුතුව“, උමා ඔය වෙනුවෙන් හඬ නගන්නට එකමුතුව තැනූ පළමු ජනතා  ව්‍යාපාරය විය. 2014 වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ කළ මෙම සංවිධානයේ සභාපති එච්.ඒ බෝධිපාල පෙන්වා දෙන්නේ කෘතීමව ඇති කළ උමා ඔය ප්‍රශ්නයෙන් ජනතාව තරමක් හෝ මුදවාලීමට නම් කෘතීම විසඳුමක්ම අවශ්‍ය බවයි. www.nethnews.lk සමග කළ කතා බහේ දී ඔහු පෙන්වා දුන්නේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය නිසා භූගතව ජලය රඳා නොපවතින තම බිමට ගැළපෙන භෝග විශේෂ නව තාක්ෂණය උපයෝගීකොටගෙන හෝ නිපදවා ගොවි ජනතාවට ලබා දෙන්නේ නම් එමගින් සහනයක් ලද හැකි බවය.

2014 අවුරුද්දෙන් පස්සේ මේ ප්‍රදේශවලට නියමාකාරයෙන් වැසි ලැබුණෙ නැහැ. මේ පළාතෙම ළිං පොකුණු ඇල දොල ඔය සියල්ලම හිඳිලයි තිබුණේ. මේ අවුරුද්දේ තමයි මේ ටිකක් තදින් වහින්නේ. පොළොවේ තැන් තැන්වල තියෙන පැල්මවල්වලට ඒ වැහි වතුර බැහැල අන්න ඒ වතුරනම් බොර පාටට ළිං කිහිපයක පතුලේ තියනව. ඒ ඇරෙන්නනම් හිඳිච්ච ළිංවල වතුර උණල නැහැ. යැයි ඔහු අප සමග පැවසුවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා උමා ඔය නිසා හිඳී ගිය ළිං ප්‍රමාණයක වතුර පිරී ඇතිබවට පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

පෙර තිබූ සියළු දිය සීරා හිඳීගොස් ඇති නිසා මෙවන් වැසි සමයක හෝ පුරන් කුඹුරක ජලය අඩුවෙන් අවශ්‍යවන භෝගයක් හෝ වගා කිරීමට ගොවීන්ට ඇති කැමැත්තවත් ඉටු කරගැනීමටවත් ඇති අවස්ථාව අහිමිව ඇති අයුරු ඔහු මෙසේ පැවසුවා.

“මේ වැස්සට පුරන් කුඹුරුවල එළවළු වගාවක් පටන් ගන්න පුළුවන් කියල අපි හිතනව. ඒත් ඒවට අවශ්‍ය කාලයේදී කෘෂි රසායන යොදන්න වතුර සොයාගන්න බැහැ. දැන් තක්කලි අක්කරයක් කියල හිතමු. තක්කලිවලට සති දෙකකට සැරයක් කෘෂි රසායන යොදන්න වෙන කාලයක් එනව. අක්කරයකට තෙල් ටැංකි 12ක් විතර ඕන. ටැංකියකට ලීටර් 16ක් ඕන. වතුර ලීටර් 200ක් විතර ඒ වැඩේට ඕන ටම ලැබෙන්නේ වතුර ලීටර් 500යි. කොහොමද පොළව තෙමුනත් වගාවක් කරන්නේ.“

මේ වනවිට කන්න 09ක් පාළුවී ඇතැයි පවසන ඔහු ‍ශ්‍රේෂ්ඨාධකරණය ලබාදුන් තීන්දුවට අනුව, වගා වන්දි නිසායාකාරයෙන් හිමිව නැති බව පවසන ඔහු රජයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පවසන ඇතැම් කාරණා අසත්‍ය බව පැවසුවා. “කන්න නවයක් පාළු වෙච්ච ගොවීන්ගෙන් හැමෝටම එකම විදියට වන්නදි ලැබිල නැහැ. සමහරුන්ට එක වාරිකයයි, දෙකයි. ඇතැම් අයට වාරික තුන හතර ලැබිල තියෙනව. ඒ හැර ගොවි ජනතාවට සහනයක් දීල නැහැ.“

මේ ජනතාව ජීවත්වන්නේ බියෙන්බව පවසන සභාපතිවරයා, බියක් නොමැතිව ජීවත් වන්නට, නිවසක් තනාගන්නට පර්චස් 20ක ඉඩම් කැබැල්ලක් ලබාදෙන්නට බලධාරීන්ට නොහැකි වූ බව පැවසුවා.

“අර විල්පත්තුව කප කප පදිංචි කරවනව. සීනි හදන්න කියල බිබිලේ අක්කර දාස් ගණනක් එළි කරන්න හදනව. අපි මේ ඉල්ලන්නේ පර්චස් 20ක්. ඒක දෙන්න තැනක් නැතිලු. රජයේ වතු කොයිතරම් තියෙනවද මේ අවට. අපිටත් මෙහෙම ගියොත් සිද්ධ වෙන්නේ විල්පත්තුවේ වගේ අනවසරයෙන් අල්ලගන්නයි.

අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියෙන් දහස් සංඛ්‍යාතපිරිසකගේ උපන් බිම මරාදමා ඇතැයි ඔහු පවසනවා. 

“ මේ පොළොව මරල තියෙන්නේ. ගැඩිවිලෙක්වත් නෑ පොළොවේ. පරිසරයේ සමතුලිත බව ආරක්ෂාවෙන කිසිම සතෙක් නැහැ දැන්. අපි කෘෂිකර්ම නිලධාරීන් බලධාරීන් සියළුම දෙනාට කියල තියෙනව මේ පරිසර තත්ත්වයේ වවන්න පුළුවන් භෝග වර්ග හඳුන්වා දෙන්න කියල. එහෙම දෙයක් සිදු වුණේ නෑ අද වෙනකම්. අද කෘතීම භෝග වර්ග තියෙනවනේ. නැත්නම් පර්යේෂණයක් හරි කරල ඒ දේ කළ යතුයි. මේක මේ ජනතාවට කෘතීමව ඇතිකරපු ප්‍රශ්නයක්. කෘතීම විසඳුමක්හරි දෙන්න මේ ජනතාවට.“

බෝධිපාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.