මෙම වසර අවසානයේදී ශ්‍රී ලංකාවටද බලපෑම් ඇති කරවන ප්‍රබල භූ කම්පනයක් සහ සුනාමි අනතුරක් ඇතිවීමට අවදානමක් ඇතැයි පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නැතැයි භූ විද්‍යා හා පතල් කාර්යංශය පවසනවා.
ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය සහ තායිලන්තය යන රටවලට ද මෙම භූ කම්පනයෙන් සහ සුනාමි අනතුරෙන් බලපෑම් ඇතිවිය හැකි බවටයි අදාළ වාර්තාවල දැක්වුණේ. සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙම වාර්තා සුලභ ලෙස හුවමාරු වෙමින් තිබෙනවා.
මේ අතර කිසියම් පුද්ගලයකු විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ ඇතිවිය හැකි අනතුරට මුහුණදීම සඳහා දැන් සිටම සූදානම් විය යුතු බවයි.
කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෝ ඉන්දියාවේ කිසිඳු බලධාරී ආයතනයක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. පාකිස්ථාන බුද්ධි අංශ වෙත ද අදාළ වාර්තාව පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව කිසියම් අනතුරක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා පාකිස්ථානය සූදානම් වන බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
නෙත් නිවුස්, මේ පිළිබඳව භූ විද්‍යා හා පතල් කාර්යංශයෙන් විමසා සිටියේ ද මෙම කරුණු සැළකිල්ලට ගනිමින්.
එහෙත් අදාළ වාර්තාවල කිසිඳු විද්‍යාත්මක පදනමක් නැතැයි ඔවුන් දැඩිව අවධාරණය කළා. මේ නිසා බිය විය යුතු කිසිවක් නොමැති බවයි එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් ප්‍රනාන්දු අවධාරණය කළේ.