ශ්‍රී ලංකාවේ ජාතික ධජය පිළිගැනීමට තමන් සූදානම් නොමැති බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් පවසනවා.
වව්නියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති උත්සවයකදී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කළේ ද ඔහු විසිනුයි.
මාධ්‍යවේදීන් ඒ පිළිබඳ කළ වැඩිදුර විමසීමකදීයි තමන් ශ්‍රී ලංකාවේ ජාතික ධජය පිළිගැනීමට සූදානම් නොමැති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ධජයේ නිරූපිත සිංහයාගෙන් සිංහල ජාතියේ වීරත්වයත් සෙසු බොහෝ සංකේතවලින් බුදු දහමත් පිළිඹිබු වන බවත් එසේ හෙයින් මෙය ජාතික ධජයක් නොව සිංහල බෞද්ධ ධජයක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ධජය වෙනස් කරන ලෙස 1956 වසරේ සිට අවස්ථා ගණනාවකදී දෙමළ දේශපාලනඥයන් ඉල්ලීම් ද කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ජාතික ධජය ප්‍රතික්ෂේප කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගෙන නොමැති බව උතුරු පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය එස් කුරුකුලරාජා පවසනවා.
සිංහයා ඉවත් කර ජාතික ධජය වෙනස් කරන්නැයි ඉල්ලීමක් කර ඇති නමුත් එවැනි වෙනසක් සිදුකරන තෙක් රටේ සියලූ දෙනා භාවිතා කරන ජාතික ධජයට ගරු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට ද ජාතික ධජයට ගරු කළ හැකි නම් පළාත් සභා අමාත්‍යවරයකු ඊට එරෙහී වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
---------------------------------------
ජාතික කොඩිය ඔසවන්න බෑ කිව්ව උතුරු පළාත් ඇමතිට නීතියෙන් පිළිතුරු දෙයි
(19-11-2017 10:07)
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේශ්වරන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා.
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේශ්වරන් පසුගිය 16 වැනිදා වවුනියාව ඉරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේ පැවති වැඩසටහනකට සහභාගි වු අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේගෙන් විමසීමේදී ආණ්ඩුකාරවරයා පැවසූවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිත බවයි.
නීතිපති උපදෙස් මත ගතහැකි නීතියම ක්‍රියාමාර්ග ඇත්නම් නීත්‍යානුකූලව කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළා.
උතුරු පළාත් හිටපු අධ්‍යාපන අමාත්‍ය ටි.කුරුකුලරාජා ද පසුගිය වර්ෂයේදී වවුනියාව පැරකුම් මහා විද්‍යාලයේ පැවති වැඩසටහනකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.