Friday, January 17, 2025

General line - 0115112241

ඡන්දය ප්‍රමාදවීම ගැන එජාපයේ ස්ථාවරය හෙළි කරයි




විවිධ අරමුණු වෙනුවෙන් යමෙක් ජනතාවගේ ඡන්ද අයිතිය පරාජය කිරීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ගත යුතු සියලූ ජනතා හිතවාදී කි‍්‍රයාවන් සඳහා පෙරමුණ ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එහි මහලේකම් කබීර් හෂීම්ගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ පටු දේශපාලන අරමුණකින් කටයුතු කරන  ඕනෑම බලවේගයක් පරාජය කිරීමට සිය පක්ෂය සූදානම් බවයි. 

මහජන නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තහවුරු කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ. ජනතාවට සිය මහජන නියෝජිතයින් තෝරාගැනීමට ඇති අයිතිය ජනතාවගේ තීරණයක්. වෙනත් බලපෑම් මත එය අහෝසි කිරීමට හෝ පමාකිරීමට කිසියම් කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු කටයුතු කරන්නේ නම් එය ජනතා විරෝධී කි‍්‍රයාවක් බවයි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කළේ.

කිසිඳු අවස්ථාවක පුද්ගල වාසි මත, දේශපාලන පක්ෂ මත, ඡන්දය අහෝසි කිරීම හෝ ප‍්‍රමාද කිරීම සිදුනොකළ යුතුයි. ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමට පළාත් පාලන මැතිවරණය නිසි වේලාවකට පැවැත්වීමට කටයුතු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූදෙනාගේ වගකීමක් බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. 

සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානයන් සමග එක්සත්ව සහ එක්සිත්ව කටයුතු කරමින් මේ සඳහා නායකත්වය ගන්නට සිය පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.