Sunday, May 5, 2024

General line - 0115112241

සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට - ඊජිප්තුවට දින 3ක ශෝක කාලයක් (UPDATE)




ඊජිප්තු සන්නද්ධ කණ්ඩායමක් 'සිනායි' අර්ධද්වීපයේ උතුරු කොටසේ බැතිමතුන්ගෙන් පිරී තිබූ මුස්ලිම් පල්ලියකට එල්ල කළ ප්‍රහාරයකින් 235 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ එම ප්‍රහාරයේ දී තවත් බැතිමතුන් 125 දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි.

'සිනායි' අර්ධද්වීපයේ උතුරු කලාපයේ අල්-රව්ඩා (al-Rawda) ගම්මානයේ පිහිටි පල්ලියට කඩා වැදුණ තුවක්කුකරුවන් බෝම්බයක් ද පුපුරුවා හැර තිබෙනවා.

ප්‍රහාරකයන්ගේ ඉලක්කය වූයේ සිකුරාදා ආගමික කටයුතු සඳහා පල්ලියට පැමිණි ආරක්ෂක අංශවල ආධාරකරුවන් විය හැකි බව සැක කෙරෙනවා.

ඔවුන්ට ගොදුරු වූ පිරිස අතර යුද හමුදාවට සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය වැසියන් ද විශාල සංඛ්‍යාවක් සිටින බව විදෙස් වාර්තා පැවසුවා.

මරණයට පත් ජනතාව වෙනුවෙන් දවස් තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඊජිප්තු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

---------------

ඊජිප්තුවේ මුස්ලිම් පල්ලියට එල්ල වු ප්‍රහාරයෙන් 184ක් මරුට (24-11-2017 20:32)

ඊජිප්තුවේ සිනායි ප්‍රාන්තයේ දේවස්ථානයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් සහ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව 125කට අධිකයි.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන කාලය ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. 

වෙඩි තැබීම සිදු කර ඇත්තේ සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින්.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඊජිප්තුවේ පොලිස් නිලධාරින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.