Saturday, January 18, 2025

General line - 0115112241

උපාධියක් හදාරන්න වයස අදාල නොවිය යුතුයි! බැලුම්ගල අණාවරණයෙන් පසු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කියයි




උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ලබාගැනීමට කිසිවෙකුටත් වයස බාධාවක් නොවිය යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති මහාචාර්ය කේ කේ අයි යූ අරුණ කුමාර පෙන්වා දුන්නේ අඩු වයසින් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් සම්පූර්ණ කළ හැකි නම් එවැන්නෙකු රටට වඩාත් ඵලදායි වන බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් හැදෑරිමට ඉල්ලූම් කළ වයස අවුරුදු 15 ක දැරියක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල ඊයේ (24) අනාවරණ කළා. එහෙත් ඒ සදහා ඇගේ වයස බාධාවක් වී තිබෙන බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ කෙරුණේ.

දරුවන්ගේ විශේෂ කුසලතා සලකා ඔවුන්ට උපාධි හෝ පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදැරීමට විශේෂ අවස්ථා ලබාදිය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් එවැනි අවස්ථාවන් ඇතැම් අයට දැනටමත් හිමිවන බවද මෙහිදී සිහිපත් කෙරුණා. 

පශ්චාත් උපාධියක් හැදෑරිමට දැනට තිබෙන රෙගුලාසි යටතේ වයස බාධාවක් වන්නේ නම් එම රෙගුලාසි හෝ වෙනස් කිරීමට ඉදිරියේදී කි‍්‍රයා කලයුතු බවද මහාචාර්ය කේ කේ අයි යූ අරුණ කුමාර වැඩිදුරටත් කියාසිටියා.