කිසිඳු ආකාරයේ ගැටලූවක් නොමැති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීමට අදාළ නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කරන ලෙස සියලූම තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ.
රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ නිලධාරින් හා කොමසාරිස්වරයා අතර මෙම සාකච්ඡාව අද (25) පැවැත්වුණා.
ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියා.
ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා මෙම මස 27දා සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ එක් දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බව පවසා පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාද කිරීම ප්රජාතන්ත්රවාදයට හානි කිරීමක් බවයි.