Saturday, January 18, 2025

General line - 0115112241

මහවිරු දින සැමරුමට 'ජාතික මහවිරු සැමරුම' යන නම යොදා ගනී (UPDATE)

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




LTTE මහවිරු දින සැමරුමට 'ජාතික මහවිරු සැමරුම' යන නම යොදා ගැනීමට එහි සංවිධායකයින් තීරණය කර තිබෙනවා. 

ඒ අනුව මහවිරු සැමරුම් පවත්වන ස්ථානවල ඉදි කොට ඇති සැරසිළි තුළ 'ජාතික මහවිරු සැමරුම' යනුවෙන් සඳහන් කර තිබෙනවා.

උතුරු පළාත් ප‍්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සුසාන භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

තවද යාපනය, මුලතිව්, වවුනියාව හා මන්නාරම දිස්ත‍්‍රික්කයන්හි පිහිටි මහවිරු සුසාන භූමි ආශ‍්‍රිතවද මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වෙනවා.

මියගිය පළමු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා වන ලූතිනන් ශංකර් නමැත්තා 1982 නොවැම්බර් 27 වැනිදා ජිවිතක්ෂයට පත්වීම සමරා මහවිරු සැමරුම පවත්වනු ලබනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය 1989 නොවැම්බර් 27 වැනිදා සිට මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීම ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත් මේ වන විට උතුරු පළාතේ ආරක්ෂාව තරකොට ඇති අතර, පළාත පුරා විශේෂ පොලිස් ආරක්ෂක වැඩසටහන් යොදා ඇති බවයි ප‍්‍රදේශ භාර පොලිස් නිළධාරීන් උපුටා දක්වමින් අප වාර්තාකරු සඳහන් කරන්නේ.

-------------------------------------------------------

මහවිරු දිනය සමරන්න උතුරේ සැරසිලි - රහසේම ගෙන්වන 'LTTE යේ හිටපු ප්‍රබල නායකයෙක්' ගැනත් තොරතුරු 

(26-11-2017 08:13)

නොවැම්බර් 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය සැමරීමට උතුරේ බොහෝ ස්ථානවල මේ වන විට සැරසිලි, දැන්වීම්, සහ තොරණ රාශියක් එළිපිටම ඉදිකෙරෙමින් ඇති බව අප වාර්තාකරු පෙන්වා දෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් නිසා ප්‍රසිද්ධ ස්ථානවල කිසිඳු සැමරීමකට ඉඩක් ලබා නොදෙන බවයි උතුරු පළාතේ ආරක්ෂක අංශ පසුගියදා එම මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණේ.

යාපනයේ වඩමාරච්චි අතුළු ප්‍රදේශ ගණනාවක ප්‍රභාකරන්ගේ ඡායාරූපද ඇතුළත්ව එල්.ටී.ටී,ඊ. සංවිධානයේ ලාංඡන පවා යොදා ගනිමින් එම සැරසිලි සිදු කරන්නට මෙම පිරිස් කටයුතු කර තිබුණත් ඊට එරෙහිව ආරක්ෂක අංශ මෙතෙක් නීතිමය පියවරක් ගෙන නොමැති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් තොරතුරු අනාවරණය කරන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සහභාගි වන මහවිරු උළෙලක් කිලිනොච්චියේ කනකපුරම් හා මුලංගාවිල් යන ප්‍රදේශවල සංවිධානය කොට ඇති අතර එම උත්සවවලට සහභාගි වන එල්.ටී.ටී.ඊ. මහවිරු පවුල්වල පිරිස් වෙත ප්‍රදානය කිරීම සඳහා ත්‍යාගද සූදානම් කර තිබෙනවා.

මේ අතර මෙම මහවිරු දිනය සැමරීමේ කිලිනොච්චි උළෙලට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල නායකයෙකු සහභාගි වීමට නියමිතව ඇති අතර ඔහු මෙතෙක් ආරක්ෂක අංශවලට අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අයෙකු බවද පැවසෙනවා.

ඔහු මේ වන විට ඉන්දියාවේ සිට කිලිනොච්චියට පැමිණ සිටින අතර ඔහුට ආරක්ෂාව සපයා දෙනු ලබන්නේද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරයෙකු විසින් බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කරන්නේ.