තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇයගේ කුඩා දරුවන් දෙදෙනාට තුවාල සිදු කළ පුවතක් ඊයේ (26) දින වාර්තා වුණා.
මෙම අපරාධ ස්ථානයට ආසන්නයේ තිබී තවත් පුද්ගල මළසිරුරක්ද සොයා ගැනුණා.
මෙම ඝාතනවලට හේතුව මරණකාරිය සමග සැකකරු හා මියගිය අනෙක් පුද්ගලයා ඇතිකර ගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් බව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.
මරණයට පත් කාන්තාවගේ නිවසේ ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතන සිදුව ඇති බවද හෙළිව තිබෙනවා.
ඝාතනයේ සැකකරු වයස අවුරුදු 27ක් වූ රංවල මාලිබොඩ ලිපිනයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව අද (27) අලුයම 5.30 ට පමණ දැරණියගල පොලිස් වසමේ මාලිබොඩ ප්රදේශයේ පුද්ගලික වතු සමාගමකට අයත් වත්තක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණා.
------------------------------------
කාන්තාව ඝාතනය කළ ස්ථානය අසළින් පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරකුත් හමුවෙයි
(26-11-2017 11:16)
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇයගේ කුඩා දරුවන් දෙදෙනාට තුවාල සිදු කළ පුද්ගලයෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එහිදී සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී අදාළ අපරාධය සිදුකළ ස්ථානයට මීටර් 60ක් පමණ දුරින් තිබි තවත් පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද සොයාගෙන තිබෙනවා.
ඊයේ රාත්රී 7.15 ට පමණ දැරණියගල පොලිස් වසමේ රංවල මාලිබොඩ ප්රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මියගොස් ඇත්තේ අවුරුදු 42 ක කාන්තාවක්. ඇයගේ අවුරුදු 4 සහ 7 වයස්වල පසුවන දියණියන් දෙදෙනා තුවාල ලබා දැරණියගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.
මියගිය කාන්තාවගේ මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණය සිදු කෙරෙන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ ඝාතනය සිදුවු ස්ථානයේ තබා තිබෙනවා.මෙලෙස මරණයට පත්ව ඇති පිරිමි පුද්ගලයා අවුරුදු 50ක් පමණ වූ හිඟුරල මාලිබොඩ ප්රදේශයේම පදිංචිකරුවෙක්.
මියගිය කාන්තාවගේ නැගණිය සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වු පුද්ගලයෙකු මෙම ඝාතනය සිදුකර ඇති බවටයි කරුණු අනාවරණ වී ඇත්තේ.
සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්රදේශයෙන් පළාගොස් තිබෙනවා.