පාසල් යන වයසේ පසුවන ළමුන් කීපදෙනෙකුගේ නොමනා හැසිරීමට අවවාද දුන් ජීවිතාරක්ෂක භටයෙකු පිහි ඇනුමකට ලක්ව බරපතල තුවාල ලබා ඊයේ (25) දින රාත්‍රියේ දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කෙරුණා.
දඹුල්ල කණ්ඩලම - 29 කොටසේ පදිංචි දෙදරු පියෙකු වන 45 හැවිරිදි නිමල් කරුණාරත්න හෙවත් පිහිනුම් ගාමිණී යන අය මෙසේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
තුවාලකරු දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත සිවිල් පුද්ගලයෙකු වන අතර දඹුල්ල අවට ජලාශවල දිර්ඝ කාලයක සිට ස්වෙච්චා සේවයේ නිරත දක්ෂ පිහිනුම්කරුවෙකු බවයි පොලිස් ජීවිතාරක්ෂක සංගමය කියා සිටියේ.
තුවාලකරු සිය ගම්මානයේම පිහිටි සමිති ශාලාවක පවත්වාගෙන යන පෞද්ගලික රාත්‍රි උපකාරක පන්තියක ඉගෙනුම ලබන තම 15 හැවිරිදි දරුවා රැගෙන ඒමට සමිති ශාලාව අසලට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවලින් පැමිණි තරුණයින් පිරිසක් අනාරක්ෂිත අයුරින් සහ උපකාරක පන්තියට පැමිණි ළමුන්ට බාධා ඇතිවන අයුරින් යතුරුපැදි හසුරුවා තිබෙනවා. මෙම ක්‍රියාවට විරුද්ධවී ඇති තුවාලකරු ඔවුන්ට අවවාද කර ඇති අතර පසුව යතුරුපැදිවල පැමිණි තරුණයින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
රාත්‍රි 10.30 ට පමණ තම දරුවා හා අසල්වැසි දරුවෙකුද සමග ත්‍රීරෝද රථයෙන් නිවෙස කරා යමින් සිටියදී යළිත් අදාළ යතුරුපැදිවලින් පැමිණි තරුණයින් මඟ අවුරා ඔහුට පොල්ලකින් පහරදී පිට පෙදෙසට තියුණු ආයුධයකින් දෙවතාවක් ඇන පලා ගිය බවයි තුවාලකරු පවසා ඇත්තේ.
මෙම තරුණයින් පිරිසෙන් 17 හා 18 හැවිරිදි වියේ පසුවන තරුණන් දෙදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න පවසා සිටියේ.