Saturday, January 18, 2025

General line - 0115112241

විමධ්‍යගත අරමුදලෙන් කිලිනොච්චියේ සොහොන් බිමක් ඉදිකිරීම අත්හිටුවීමට නියෝගයක්




රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කරමින් කිලිනොච්චිය - කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්.ටී.ටී.ඊ. සොහොන් බිමක් සංවර්ධනය කිරිම පිළිබඳ වාර්තා වී ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා.

කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්  තම විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 40 ක මුදලක් මේ සඳහා වෙන්කර ගෙන ඇති බවත් කිලිනොච්චිය - කනකපුරම් ප්‍රදේශයේ මෙම සුසාන භූමිය ඉදිකිරීම සඳහා කරච්චි ප්‍රාදේශීය සභාව සහ කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ද අවසර ලබාගෙන තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසන්නේ පුවත්පත් විසින් වාර්තා කර තිබූ මෙම කරුණ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කළ අතර ඔහුගේ උපදෙස් පරිදි විමධ්‍යගත අරමුදල් අවභාවිතාවක් සිදුවීදැයි සොයා බලන ලෙස අදාළ අංශ දැනුවත් කළ බවයි.

සාමාන්‍යයෙන් විමධ්‍යගත අරමුදල් භාවිත කිරීමේදී ඒ සඳහා නිශ්චිත රාමුවක් පවතින අතර, එය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්ණායකයන්ට යටත් විය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ.

විමධ්‍යගත අරමුදල් භාවිත කරමින් සිදුකිරීමට යෝජිත ඉහත ව්‍යාපෘතිය පිළිබඳව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර, එතෙක් යම් ඉදිකිරීමක් සිදු කෙරෙන්නේ නම් එය තාවකාලිකව නතර කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික සංහිදියාවට බාධාවන කටයුත්තක් සඳහා විමධ්‍යගත අරමුදල් භාවිතා කිරීමට  කිසිසේත් ඉඩ ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය පී සර්වේශ්වරන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ද වාර්තා වුණා.

සංහිඳියාව වෙනුවෙන් රජය දැඩි කැපවීමකින් කටයුතු කරන අවස්ථාවක මෙම දේශපාලනඥයන් සිදු කරන්නේ සංහිඳියාවේ සළුවෙන් හෙළුව වසා ගැනීමක් බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් අවධාරණය කළේ.