Saturday, January 18, 2025

General line - 0115112241

හිටපු මුහුදු කොටි නායකයෙක් ප්‍රභාකරන්ගේ උපන් දිනය දා දේශපාලනයට පිවිසෙයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




පසුගිය යුධ සමයේ මන්නාරම ප‍්‍රදේශය භාරව කටයුතු කළ LTTE ත්‍රස්තයින්ගේ මුහුදු කොටි නායක ත්‍යාගවරාසා අරුල්සෙල්වම් නමැත්තා ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යෙදුණ ඊයේ (26) දිනයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මන්නාරම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් හමුවී ඔහු පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කර තිබුණා.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හරහා දේශපාලනය වෙත පිවිසීමට තමන් අපේක්ෂා කරන බවද හිටපු මුහුදු කොටි නායකයෙකු වන අරුල්සෙල්වම් මෙහිදී පවසා සිටියා.

අරුල්සෙල්වම් වැඩිදුරටත් පැවසූවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් තමිල් අරසු කච්චි පක්ෂ නායක ආර්. සම්බන්ධන් හරහා පමණක් විසදුම් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට වන විශ්වාසය හේතුවෙන් තමන් පක්ෂයට එක්වු බවයි.

1985 වසරේ සිට 2008 වසර දක්වා කාලය තුළ මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුහුදු කොටි නායකයා ලෙස අරුල්සෙල්වම් කටයුතු කොට තිබු අතර, 2008 වසරේදී ඔහුව ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වුණා. පසුව ඔහු පුනරුත්තාපන පුහුණුව ලැබීමෙන් අනතුරුව 2012 වසරේ සමාජගත වී ඇති බවයි මන්නාරම ආරක්ෂක අංශ පැවසුවේ.

මේ අතර වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී තිබූ ඊයේ (26) දිනයේ රාත්‍රි කාලයේදී ඔහුගේ උපන් ගම වූ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ උපන්දින සැමරුම් වැඩසටහන් රැසක් පවත්වා ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

අංක 63 යනුවෙන් සඳහන් කරමින් මෙම සැමරුම් බොහොමයක් සිදුකර ඇත්තේ තරුණ කණ්ඩායම් විසින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් ඇතුළු පිරිසක්ද ඊයේ දහවල් ප‍්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් පවත්වා තිබුණා. පහන් දල්වා මල් පුදා, කේක් කපා අදාළ උපන්දින සැමරුම පවත්වා ඇති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.