Saturday, October 19, 2024

General line - 0115112241

මොරගහකන්දේ මංගල දියවර ජනපති අතින් මුදා හැරේ (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




මොරගහකන්ද ජලාශයේ මංගල දියවර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් මුදා හැරීම අද (08) දිනයේ එළඹි සුබ මොහොතින් සිදු කෙරුණා.

------------------------------

මොරගහකන්ද අද ජනතා අයිතියට

(08-01-2018 05:42)

 

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) ජනතා අයිතියට පත් කෙරෙනවා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

දශක 4කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෙයයි. එමෙන්ම මහවැලි පංචමහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය ද වන මොරගහකන්ද ජලාශයේ වැඩ ආරම්භ කෙරුණේ 2007 ජනවාරි 25 වැනිදායි.

මෙමගින් අක්කර ලක්ෂ 3ක් අළුතෙන් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සැළසීමටයි සැළසුම් කර ඇත්තේ. පිරිසිදු පානීය ජලය සැපයෙන පුද්ගලයින් ගණන ලක්ෂ 3ක්.

ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ 60,000ක් වනවා. එය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 6 ගුණයක්. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල වැව් 2000කට අළුතින් ජලය සැපයෙනවා.

මොරගහකන්ද ජලාශය ඉදිකර ඇත්තේ නකල්ස් කඳු නිම්නයේ සිට අඹන් ගඟ හරහා ගලා ගිය ජලය හරස් කරමින්. එමෙන්ම කළු ගඟ හරස් කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සැපයීමටයි සැළසුම් කර ඇත්තේ. 

ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් 3000ක්. අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 225ක්.

මෙගාවොට් 25ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ද මොරගහකන්ද ජලාශය හරහා එක් වනු ඇති.

එය ඉදිකිරිම හේතුවෙන් නාඋල සහ ලග්ගල යන ප‍්‍රදේශවල පවුල් 3500ක් අවතැන් වුණා. ඔවුන් නැවත පදිංචි කිරිම හා දේපළ වන්දි ගෙවීම මේ වනවිටද සිදු කෙරෙමින් පවතිනවා. 

මෙරට දැකිය හැකි ගල් පිරවූ ප‍්‍රධාන වේල්ලක්, කොන්ක‍්‍රීට් වේල්ලක් මෙන්ම පස්වලින් සෑදු වේල්ලක් යන වේලි 3කින් යුත් එකම ජලාශය වන්නේ ද මොරගහකන්ද ජලාශයයි.