Saturday, October 19, 2024

General line - 0115112241

රාජගිරියේ ගුවන් පාලම විවෘත වෙයි (PHOTOS) (UPDATE)




රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින් රාජගිරිය මංසන්ධියේ ඉදිවූ ගුවන් පාලම අද (08) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙරට ඉදිවූ දිගම ගුවන් පාලම වන රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට පත් කෙරුණ ද එහි ඉදිකිරීම් තවදුරටත් සිදු කෙරෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි පැවසුවේ ගුවන් පාලමට පහළින් පිහිටි කොටසේ ඉදිකිරීම් පාලම විවෘත කිරීමෙන් අනතුරුව වුවද සිදු කෙරෙන බවයි. 

රුපියල් මිලියන 4700ක වියදමින් ඉදිකළ මෙම ගුවන් පාලම මංතීරු 04කින් සමන්විතයි. එහි දිග මීටර් 534ක්. මෙම ගුවන් පාලම විවෘත කිරීමෙන් පසු රාජගිරිය මංසන්ධියේ සහ ඒ අවට මාර්ගවල පවතින රථ වාහන තදබදයට විසඳුම් ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. 

---------------------------------

රාජගිරියේ ඇති අධික වාහන තදබදයට අද සිට ලැබෙන විසඳුම මෙන්න 

(08-01-2018 06:00)

 

රාජගිරිය ගුවන් පාලම අද (08) ජනතා අයිතියට පත් කෙරෙනවා. 

ඒ, ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන්. ගුවන් පාලමේ දිග මීටර 540කට ආසන්නයි. එය ඉදි කිරිම සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 4.5ක්.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි සඳහන් කළේ "අපි අධීක්ෂණය කර බැලූ ආකාරයට මේ ගුවන් පාලම නිසා එහි පිරිවැය ඉන්ධනවලින් පමණක් වසර 03ක් ඇතුළත පියවා ගැනීමට හැකි වනවා. පසුගිය කාලයේ මේ ආශ්‍රිතව තිබූ අධික රථවාහන තදබදය නිසා ජනතාවගේ ඉන්ධන විශාල ප්‍රමාණයක් අපතේ ගියා. ඒ විතරක් නෙමෙයි මීට සමගාමීව තවත් මාර්ග 04ක් නවීකරණය සැළසුම්ක කළා. බුත්ගමුව මාර්ගය, බොරැල්ල - නාරහේන්පිට මාර්ගයට සමාන්තර මාර්ගයක් ලෙස මැක්ඩොනල්ඩ්ස් එක ඉදිරියෙන් ඇති මාර්ගය සංවර්ධනය කෙරෙනවා. දේවි බාලිකා වටරවුමේ සිට කනත්ත වටරවුමට නොයා නාරහේන්පිට පැත්තට යන්න පුළුවන් විදිහට සුසාන භූමිය වටේ මාර්ගයක් ඇති කිරීම, රාජගිරිය බෝ ගස අසළ සිට ඇති මාර්ගය.. ආදී වශයෙන් මෙම මාර්ග සංවර්ධනය කෙරෙනවා." යනුවෙනි..

ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු රාජගිරිය නගරයේ පවතින අධික රථ වාහන තදබදයට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් පැවසුවේ.