Saturday, October 19, 2024

General line - 0115112241

අඹගමුවේ ගැටළුව සලකා බැලීමට දින දෙයි

අධිකරණ වාර්තාකරු




අඹගමුව ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා තුනක ඡන්දය පැවැත්වීම වළකාලමින් කටයුතු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස 29 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) දින නියම කළා.

මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරු ලෙසට නම් කර ඇති පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සීමානීර්ණ කටයුතු සිදු කර ඇත්තේ කමිටු වාර්තාවක් පදනම් කර ගෙන බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වුවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් ගොනු කරුණු ලැබුවා.

2017 නොවැම්බර් මස 02 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අඹගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශය ප්‍රාදේශීය සභා තුනකට එනම් මස්කෙළිය, නෝවුඩ් සහ අඹගමුව ප්‍රාදේශීය සභා ලෙසට වෙන් කර ඇති බව පෙත්සම්කරු පවසා සිටිනවා.

මේ තුළින් ශ්‍රී පාදය අවට ජීවත් වන සිංහල බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරු පවසා සිටිනවා. ජනවාර්ගික පදනමක් මත සිදු කර ඇති මෙම බදා වෙන්කිරීම තුළින් ජාතික අසමගියක් ඇති විය හැකි බවයි පෙත්සම්කරු සඳහන් කරන්නේ.

මෙම පෙත්සම තුළින් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්වයන් අටක් වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.