Saturday, October 19, 2024

General line - 0115112241

කල්ලාරු දළ ඇතාගේ වාර්තාව අද එළියට

ඩිල්ෂාන් තුෂාර




කල්ලාරු දළ ඇතා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද (08) ලැබීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම ඇතා ඝාතනය කර ඇත්ද නැතහොත් මියගොස් ඇත්ද යන්න පිළිබඳ තීරණය කළ හැකි බවයි.   

තත්තිරිමලේ ප‍්‍රදේශයෙන් ඉකුත්දා අත්අඩංගුවට ගත් ඇත් දළ යුගල කල්ලාරු නැමැති ඇතාගේ බවට ප‍්‍රකාශ කෙරුණා. පසුව එම හස්තියාගේ බවට සැලකෙන අස්ථි කොටස් කිහිපයක් ද විල්පත්තු පුලියන්කුලම ප‍්‍රදේශයේ තිබී සොයා ගැණුනා.

එම ඇත් දළ යුගල මෙන්ම අස්ථි කොටස් ද මේ වනවිට ඩී. එන්. ඒ. පරීක්ෂණයකට යොමු කර ඇති බවයි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පැවසුවේ. 

කල්ලාරු ඇතා දැනට මාස 08ක පමණ කාලයක සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ හෝ ඒ අවට ප‍්‍රදේශයේ දක්නට නොලැබෙන බවට හමුදාව හා පොලිසිය, සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත දැනුම් දී තිබුණා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. 

මේ අතර වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියේ වනජීවි කලාප හා ඒ ආශ‍්‍රිතව වෙසෙන වන සතුන් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. 

එම මෙහෙයුම් ඔස්සේ වනජීවි කලාපවල සිදුවන වන සතුන් ඝාතනය කිරීමේ සිද්ධීන් වළක්වාගත හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.