Monday, January 13, 2025

General line - 0115112241

තාජුඩීන්ගේ ඝාතනය අදාලව රාජපක්ෂ පවුලේ සමීපතයන්ගෙන් ප්‍රකාශ

අධිකරණ වාර්තාකරු




හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සමග ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26) අධිකරනයට දැනුම් දුන්නා.

තවද වසීම් තාජුඩීන්ගේ මරණය සිදු වූ වකවානුවේ එනම් 2012 වර්ෂයේ මැයි මාසයේ නාවික හමුදාව පරිහරණය කළ වාහන දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.


තවද වසීම් තාජුඩීන් පරිහරණය කළ ලැප්ටොප් පරිගණකය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට මොරටුව විශ්ව විදයාලය වෙත යවා ඇති බව ද පොලිසිය අධිකරනයට දැනුම් දුන්නා .


ඒ අනුව මෙම ඝාතනයට අදාළව පරීක්ෂණ වල ප්‍රගතිය මැයි මස 3දා අධිකරණයට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරිට දැනුම් දුන්නා.


තොරතුරු වසන් කිරීම, මනුෂය ඝාතනයට කුමන්ත්‍රනය කිරීම ආදී චෝදනා ලැබ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියොජය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන අය අද (26) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනයේ පෙනී සිටියා.