Monday, January 13, 2025

General line - 0115112241

ඉන්දිය ධීවර ඇමති මහින්දට බය වෙලා දුරකථනයෙන් කළ ඉල්ලීම මෙන්න

වසන්ත පිවිතුරු




ඉන්දිය ධිවරයන් අනවසරයෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කර ධීවර කටයුතුවල නිරත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් දැඩි තීරණය සම්බන්ධයෙන් තමිල් නාඩු රජය විරෝධය එල්ල කර තිබෙනවා.

එම ප්‍රාන්තයේ වත්මන් මහ ඇමති එඩපාඩි පලනිච්චාමි පවස්නනේ මෙම නීතිය මගින් ඉන්දිය ධිවරයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන බවයි.

එම නිසා තමන් අදාළ නීතිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ලක් රජයට බලකර සිටින බවයි ඔහු පවසා ඇත්තේ.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දිය මධ්‍යම රජය වහාම මැදිහත් විය යුතු බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම තමා මේ පිළිබඳව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත ලිඛිත ඉල්ලීමක් ද කළ බවයි තමිල් නාඩු මහ ඇමති එඩපාඩි පලනිච්චාමි පෙන්වා දී තිබෙන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව තමන් තරහේ හෙළා දකින බවයි තමිල් නාඩු ප්‍රාන්ත ධීවර ඇමති ඩී. ජයකුමාර් පවසන්නේ.

නොවිසඳුනු කච්චතීවු දූපතේ ගැටළුව හමුවේ ලක් රජය මෙවැනි දැඩි තීරණ ගැනීම සාධාරණ නොවන බවයි ඔහු කියා සිටියේ.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් වී ක්‍රියා කළ යුතු බවද තමිල් නාඩු ප්‍රාන්ත ධීවර ඇමති ඩී. ජයකුමාර් කියා සිටියා.

මෙම තීරණය ශ්‍රී ලංකාව ගෙන ඇති පුවත ඇසු සැණින් තමන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බවත් මෙම තීරණය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

සිතා මතා ඉන්දිය ධීවරයින් දේශසීමා උල්ලංඝණය නොකරන බවත් දැඩි සුළං හා කුණාටු තත්ත්ව හමුවේ මෙවැනි යම් අවස්ථාවක මුහුදු සීමා උල්ලංඝණය විය හැකි බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම එවැනි අවස්ථා ශ්‍රී ලංකා ධීවරයින්ට ද සිදුවිය හැකි බවයි තමිල් නාඩු ප්‍රාන්ත ධීවර ඇමති ඩී. ජයකුමාර් පෙන්වා දුන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා රජය සමග ඉදිරි කටුයුතු සිදුකිරිම සම්බන්ධයෙන් පූර්ණ බලය තමිල් නාඩු ප්‍රාන්ත ධීවර දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවද ඔහු ඉන්දිය මාධ්‍ය වෙත කියා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් www.nethnews.lk තමිල් නාඩු ධීවර දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.

එහි අධ්‍යක්ෂ වී.පී. දණ්ඩපානි  www.nethnews.lk වෙත කියා සිටියේ තමිල් නාඩු රජය විසින් තමන් වෙත පූර්ණ බලය පවරා දී තිබුණද අද (26) දින ඉන්දිය රජයේ නිවාඩු දිනයක් බැවින් කඩිනම් මැදිහත් වීමක් සිදු කිරිමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකා ධීවර අමාත්‍යංශය හා ධීවර දෙපාර්මේන්තුව සමග සාකච්ඡා කර අදාළ නීතිය ලිහිල් කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා ධීවරයින් මුහුණදෙන ගැටළු නිරාකරණය කිරිම වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ධීවර අමාත්‍ය මහින්ද අමරවීර විසින් දැඩි නීති ඇතුළත් යෝජනාවක් සම්මත කරනු ලැබුවා.

ඒ අනුව මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරන ඉන්දීය ධිවරයන්ගෙන් රුපියල් 50.000 සිට කෝටි 7.2 ක දක්වා වූ දඩ මුදල් අය කර ගැනීමට නියමිත බවයි ඉන්දියානු මාධ්‍ය පෙන්වා දී තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් www.nethnews.lk ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චිගෙන් විමසීමක් කළා.

අමාත්‍යවරයා කියා සිටියේ මෙහිදී කිසිඳු ලිහිල් භාවයකට ශ්‍රී ලංකා රජය සූදානම් නොවන බවයි.