Monday, January 13, 2025

General line - 0115112241

නඩුවක් අවසන් කරන්න ශ්‍රී ලංකා රජයේ සහාය ඉල්ලන අසල්වැසියා

වසන්ත පිවිතුරු




හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවලදී ශ්‍රී ලංකාව පූර්ණ සහාය ලබානොදුන් බව ඉන්දිය බුද්ධි අංශය අද (26) එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ Press Trust of India නම් සඟරාවයි.

අදාළ ඝාතනයට සම්බන්ධ වරදකරුවන් 7 දෙනෙකු වසර 25 ට වැඩි කාලයක් සිර දඬුවම් විඳින අතර ඉන්දිය නීතියට අනුව ඔවුන්ට අසාධාරණයක් වී ඇති බව පවසා ඔවුන් විසින් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබුවා.

එරට නීතියට අනුව වසර 25 ට වැඩි කාලයක් ජීවිතන්තය දක්වා සිර දඬුවම් නියම වූ කෙනෙකු සිර දඬුවම් විඳින්නේ නම් ඔහුට නිදහස හිමි වනවා.

නමුත් හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතකයන්ට එහිදී අසාධාරණයක් වී ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙන්නේ.

එම නිසා තමන්ගේ දඬුවම යළි සලකා බලන ලෙසයි වරදකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ.

එය සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ ඉන්දිය බුද්ධි අංශයෙන් කරුණු විමසා සිටියා.

ඒ පිළිබඳ කරුණු දක්වමිනුයි බුද්ධි අංශය මෙසේ සඳහන් කර තිබෙන්නේ.

අදාළ වරදකරුවන්ට නිදහස ලබාදීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කළ අතර ඊට අනුමැතිය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියා.

මධ්‍යම රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොණු කළා.

එම නඩුව අද (26) කැඳවු අවස්ථාවේ දී ඉන්දිය බුද්ධි අංශය කියා සිටියේ මෙම නඩුවට අදාළ තොරතුරු ලබාදීමට හා නිසි සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා බලධාරින් කටයුතු නොකළ බැවින් නඩුව අවසන් කළ නොහැකිව ඇති බවයි.

මෙම තීරණය යළි සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 21 වන දා විධිමත් කරුණු ගොනු කරන ලෙස ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය බුද්ධි අංශයට නියෝග කර තිබෙනවා.

1991 වසරේ දී මැයි මස 21 වෙනි දින මැතිවරන ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින් සිටිය දී ඉන්දිය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට ලක්වුණා.

එම ඝාතනය එල්ටීටීඊ ය විසින් සිදු කළ බවටයි ඉන්දියාව චෝදනා කරන්නේ.