Tuesday, May 7, 2024

General line - 0115112241

ගෝඨාභයගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




ඇවන්ට් ගාර්ඩ් ගණුදෙනුවට අදාළ නඩුවකට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක්කරමින් ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ  කරුණු දැක්වීමට වගඋත්තරකාර පාර්ශ්වයන් ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා මෙම පෙත්සම පෙබරවාරි මස 2 දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද (26) තීරණය කළා.

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට  රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට වන චොදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ නඩු පවරා තිබුණා.

එහිදී  නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා.

අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙම නඩුව ගොනු කර ඇත්තේ අල්ලස් කොමිෂන් සභාවේ ලිඛිත  අනුමැතියෙන් තොරව බවට විත්ති පාර්ශ්වය මූලික විරෝධතා ඉදිරිපත් කරනු ලැබුවා.

අල්ලස් පනතේ ප්‍රතිපාදන අනුව නඩු පැවරීමේ බලය  අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හිමි වනවා.

ඒ තුළින්  මෙම නඩු පැවැරිම අල්ලස් කොමිෂන් සභාව මගින් සිදු කර ඇති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබුණා .

වර්ෂ 2012 අගෝස්තු මස සිට 2015 ජනවාරි මස දක්වා කාලය තුළ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ කියවෙන දූෂණය නැමැති වරද විත්තිකරුවන් සිදු කර ඇති බව අල්ලස් කොමිෂන් සභාව චොදනා කරන්නේ.