ගැටුම අවසන් වීමෙන් පසුව, ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාණවත් නොවනබව විපක්ෂ නායක ආර් සම්බන්දන් පවසනවා. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් ද සැකයක් බවයි ඔහු පැවසුවේ. පාර්ලිමේන්තුව අමතමින් ඔහු අද( 08) මේ බව පැවසුවා.
විපක්ෂ නායක ආර් සම්බන්දන් පාර්ලිමේන්තුවේදී කළ කතාව පහතින් කියවන්න.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මා ස්ථිර කරන අතර ඒ සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමට මම අවසර පතමි.
දින කිහිපයකට පෙර අම්පාරේදී ද, පසුගිය දින මහනුවරදී ද සිද්ධීන් 2ක් ඇති වී තිබේ. ආපන ශාලාවක සිදු වූ කිසියම් දෙයක් හේතු කොට ගෙන ඇති වූ සැකයක් මත, අම්පාරේ සිද්ධිය ඇති විය. පැවසෙන ආකාරයේ යම් දෙයක් එම ආපන ශාලාව තුළ සිදු වී ඇත්නම්, ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව සුදුසු පියවරක් ගත යුතුව ඇතැයි මම සිතමි. එහෙත් නීතියට අනුව එවැනි පියවරක් ගැනීම වෙනුවට, යම් ප්රජාවකට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා ඇති විය. ආපන ශාලා විනාශ කෙරිණි. මුස්ලිම් දේවස්ථානයකට හා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට අලාභ හානි සිදු කෙරිණි. මෙම ක්‍රියාවන් සඳහා විශාල කණ්ඩායමක් සහභාගී විය. මෝටර් බයිසිකල් විශාල සංඛ්‍යාවකින් හා බස් රථයකින් අදාළ ප්‍රදේශයට ගොස් ඔවුන් මෙම ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වූහ. පොලිස් ස්ථානය ද නුදුරින් පිහිටා තිබිය දී, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ කිසිදු බාධාවකින් තොරව මෙම පුද්ගලයන්ට මෙම සියලු ක්‍රියාවන් සිදුකර එම ප්‍රදේශයෙන් පළා යාමට ද හැකි වී ඇති බව පෙනී යයි.
තරුණයෙකුට තුවාල සිදු කෙරුණු අනතුරක් හේතු කොට ගෙන, දින කිහිපයකට පසුව, තුවාල සිදු වූ තරුණයාගේ ප්‍රජාවට අයත් තරුණයින් පිරිසක් විසින්, අනතුරට වගකිව යුතු වාහනයේ රියදුරාට පහර දී ඇත. පෙනී යන පරිදි ඔහුට දරුණු ලෙස පහර දී ඇත. එලෙස පහර කෑ තරුණයා රෝහල් ගත කර ඇත. බහුතර ප්‍රජාවට අයත් එම තරුණයාගේ මරණය හේතු කොට ගෙන, කඩ සාප්පු විශාල සංඛ්‍යාවකට, මුස්ලිම් දේවස්ථාන හතරකට, නිවාස විශාල සංඛ්‍යාවකට හා කිසියම් ප්රජාවකට අයත් පුද්ගලයන්ට පහර දී ඇත. කඩ සාප්පු, මුස්ලිම් දේවස්ථාන හා නිවාස විශාල සංඛ්‍යාවකට අයත් දේපොළවලට බරපතළ හානි සිදුවී ඇති අතර, පහරදීමෙන් එක්තරා ප්රජාවකට අයත් පුද්ගලයන් දරුණු ලෙස තුවාල ලබා ඇත. ගිනි තැබූ නිවසකට සිරවූ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මට දැන ගන්නට ලැබුණි.
අතීතයේදී ද මෙවැනි සිදුවීම් ඇති විය. එහෙත් මේ වන විට, විශේෂයෙන්ම රජය වෙනස් වීමෙන් පසුව, එවැනි සිද්ධීන් පිළිබඳව ඇසීමට නොලැබුණු අතර, එවැනි සිදුවීම් ඇතිවීම පිළිගැනීමට පවා නොහැකි බව පැවසිය යුතුව ඇත.
දඩුවම්වලට යටත් නොවී සිටිය හැකි බවට හැඟීමක් පවතියි. තමන්ට එවැනි ප්රචණ්ඩ ක්‍රියා සිදු කර, බේරී සිටිය හැකි බවටත්, නීතියේ ආධිපත්‍ය තමන්ට අදාළ නොවනු ඇති බවටත්, නීතියේ පාලනය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවනු ඇති බවටත්, විශ්වාසයක් ජනතාව තුළ ගොඩ නැඟී ඇති බව පෙනී යයි. ගත යුතු ක්‍රියාමාර්ග ගැටුම අවසන් වීමෙන් පසුව ගැනීම ප්‍රමාණවත් නොවෙයි. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් ද සැකයක් ඇති වී තිබේ.
තමන්ට පැවරී ඇති සැබෑ වගකීම හඳුනා ගැනීමට නීතිය ක්‍රියත්මක කරන නිලධාරීන් අසමත් වී තිබෙන බවත්, ප්රකෝපවූවන් කවර කාර්යයක නිරතව සිටියත් ඒවා වැළැක්වීමේ හැකියාවක් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නොමැති බවටත්, ජනතාව සිතන තත්ත්වයකට අප පැමිණ තිබේද යන ප්රශ්නය ඇසීමට මට අවශ්‍යව ඇත. නීතියේ පාලනය අධීක්ෂණය නොකිරීම තුළින් සිදු විය හැක්කේ පාලනය ව්‍යාකූල වීම පමණි. මධ්‍යස්ථ නොවූ කිසිදු කරුණක් ඉදිරිපත් කරමින් මෙම තත්ත්වය තවත් උග්‍ර කිරීමට මම උත්සාහ නොකරමි.
එහෙත්, වරින් වර, නිරතුරුවම සිදුවන එවැනි සිදුවීම්වලින් ගම්‍ය වන්නේ නීතියේ හා සාමයේ පවතින සැබෑ තත්ත්වයද, නැතහොත් එහි වෙනත් ගැඹුරු පැතිකඩක් තිබේද යන පැනය නැඟීමට මට අවශ්‍යව ඇත. ගැඹුරු පැතිකඩක් වශයෙන් ගත් කළ, රජයට කොතරම් ප්‍රමාණයක කාර්යභාරයක් හා වගකීමක් පැවරී තිබේද? මේ රටේ සියලුම පුරවැසියන්ට සමාන ලෙස සැලකේද? රජයේ වත්මන් ව්‍යුහය යටතේ, සමානාත්මතාවය පදනම් කර ගනිමින් සියලු දෙනාටම යුක්තිය ඉටු වේද? වත්මන් රජය ගොඩනැඟී ඇති ආකාරයට විවිධ ප්‍රජාවන්ට අයත් විවිධ පුරවැසියන්ගේ හැසිරීම සඳහා මේ රටේ පාලන ව්‍යුහය තුළින් බලපෑමක් ඇති නොකරයිද?
කිසියම් ප්රජාවකට අයත් ජන කණ්ඩායමක් තුළ, තමන් උසස් බවටත්, අනෙකුත් අය පහත් බවටත්, තමන්ට ඉහළ පුරවැසියන් ලෙස සැලකිය යුතු අතර අනෙකුත් අයට දෙවන පෙළ පුරවැසියන් ලෙස සැලකිය යුතුය යන සිතුවිල්ල ඇති වී තිබේද? මෙම හැඟීමට හේතුව කුමක්ද? එය මේ රටේ පාලන ව්‍යුහය හා රාජ්‍යයේ ස්වභාවය තුළ පවතින ලක්ෂණයක් නොවන්නේද? කිසියම් ප්රජාවකට අයත් පුද්ගලයන්ට රට තුළ සුරක්ෂිත බවක් නොමැති විටෙක, එම ප්‍රජාව නියෝජනය කරමින් අමාත්‍යවරුන් හතරක් හෝ පහක් ඔබගේ රජය තුළ සිටීමේ ඇති වැදගත්කම කුමක්ද? තම ජනතාව වෙනුවෙන් ලබාදියයුතු ප්රතිලාභ ඔවුන්ට අත්පත් කර දිය නොහැකි නම්, වෙනස් ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ට බලතල හා තනතුරු ලබාදීමෙන් ඇති වන ඵලය කුමක්ද? පවතින රාජ්‍ය ව්‍යුහය හා පවතින පාලන ක්‍රමය යටතේ එය සාක්ෂාත් කර ගත නොහැකි නම්, කිසියම් ප්රජාවකට පමණක් තමන් අනෙක් අයට වඩා උසස් යැයි නොහැඟෙන පරිදි, මේරටේ සියලු දෙනාට තමන් සමාන පුරවැසියන් යැයි හැඟෙන ආකාරයේ සුදුසු වෙනස්කම්, සංශෝධන හා ප්රවර්ධනයන් පාලන ක්‍රමය තුළ සිදු කළ යුතුව ඇත.
පැහැදිලිවම එවැනි සිද්ධීන් හුදෙක් නීතියට හා සාමයට අදාළ සිද්ධීන් පමණක් නොවන බව මගේ හැඟීමයි. එහි වඩාත් ගැඹුරු පැතිකඩක් ඇත. තමන් සුවිශේෂී අය බවටත් අනෙකුත් අය එම සුවිශේෂී බවට යටත්ව සිටිය යුතු බවටත් ඇතැම් පුද්ගලයෝ සිතති. මෙම හැඟීම මුලිනුපුටා දැමිය යුතුය. ගැටුමට මූලික වූ ප්‍රධාන කාරණය එය යැයි මම සිතමි.
මේ රටේ සෑම ප්රජාවකටම තමන් සමාන පුරවැසියන් බව තහවුරු වන ආකාරයකට මේ රටේ පාලන ක්‍රමය වෙනස් කිරීමට පියවර ගැනීම රජය සතු යුතුකමක් යැයි මම සිතමි. සමස්තයක් වශයෙන් මුළු රටටම එවැනි සිද්ධීන්වලින් බලපෑමක් ඇති වනු ඇත. මානව හිමිකම් කඩවීම, මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම්, ජාත්‍යන්තර මානව නීති උල්ලංඝනය කිරීම්, සත්‍යය සොයා බලා දැන ගැනීම හා සම්බන්ධ ප්රශ්නය, යුක්තිය ඉටු නොවීම හා වගවීම පිළිබඳ ගැටළුව යනාදී අසීරුතා ගණනාවකට අප රට මුහුණ පාමින් සිටියි. ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ දුෂ්කරතා රැසකට අප රට මුහුණ දෙමින් සිටියි. බොහෝ ප්‍රශ්නවලට උත්තර බැඳීමට අපේ රටට සිදුව තිබේ. අපේ ආර්ථිකය උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. මෙම සියලු ගැටළුවලින් අපේ රට මුදා ගත යුතුව ඇත.
කළයුතු දෙය සුදුසු අවස්ථාවේදී සිදු නොකිරීමෙන් මෙම තත්ත්වය උදා කර ගෙන ඇත්තේ අප විසින්මය. සිදු කළ යුතුව තිබූ දෙය සුදුසු අවස්ථාවේදීම ඉටුකර තිබුණේ නම්, මෙම රටට මෙවැනි තත්ත්වයන් උදා නොවනු ඇත. අපේ රට ද සිංගප්පූරුව හෝ තායිලන්තය වැනි ඉතා දියුණු හා සංවර්ධිත රටක් බවට පත්වීමට ද ඉඩ තිබුණි. අනෙකුත් රටවල් ඉදිරියට ගමන් කරමින් සිටින අතර, අපේ රට ආපස්සට ගමන් කරමින් සිටියි. මේ රටට සිදුවෙමින් පවතින්නේ එයයි. මෙම තත්ත්වය වෙනස් කළ යුතුව ඇත. අප විසින් සිදුකළ යුතු මූලික වෙනස වන්නේ, පාලන ව්‍යූහය තුළ කළ යුතු වෙනසක් යැයි මම සිතමි. එය මූලික වශයෙන්ම කළ යුතුය. එහෙයින් තමාට පැවරී ඇති වගකීම මැනවින් ඉටු කිරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් ක්‍රියා කළයුතු අතර මේ රටේ සෑම පුරවැසියෙකුටම සමාන ලෙස සලකන බව තහවුරු කරන ලෙසට,මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම අප විසින් කළ යුතු වන්නේ, හුදෙක් පුද්ගලයන් කිහිප දෙනෙකුට තනතුරු හෝ බලය ලබාදීම නොව, වඩාත් ප්රමුඛ ගැටළුවක්ව පවතින මේ රටේ පාලන ව්‍යූහය තුළ, ජනතාවගේ කැමැත්ත හා අවශ්‍යතා ඉටුවන ආකාරයේ වෙනසක් ඇති කිරීමට කටයුතු කිරීමය.
ස්තූතියි.