මෙවර පළාත් පාලන මැතිවරණයේදී යාපනය මහනගර සභාවට තේරීපත් වූ නාගරික මන්ත්රීවරයකුට යාපනය දිසා විනිසුරු එම්. සදීස්වරන් විසින් වසර දෙකක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් අද (08) නියම කළා.
දෙමළ ජනතා විමුක්ති පෙරමුණෙන් යාපනය නගර සභාවට තරග කොට ජයගත් පුද්ගලයකු කරණ ලද සුදාර්සිංහම් විජයනාත් නමැත්තාට මෙලෙස සිර දඬුවම් නියම කර තිබෙනවා. මීට පෙර ඔහු ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරමින් තරග කොට යාපනය නගර සභාවේ නාගරික මන්ත්රීවරයකු බවටද පත්ව සිටියා.
2013 වර්ෂයේදී හිතවත් පවුලක් විසින් බැංකුවක උකස් තැබීම සදහා ලබා දුන් රත්රන් පවුම් 119 ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු ඇතුළු හතර දෙනෙකු යාපනය කෝපායි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර එම නඩුව විභාග වන අතර තුර එම සැකකරුවන් හතර දෙනා ඇප මත නිදහස් කර සිටියා.
මොහු සමග ස්වර්ණාභරණ වංචාවකට හසුව සිටි පුද්ගලයින් හතර දෙනාගෙන් දෙදෙනෙකු නඩු තීන්දුවෙන් නිදහස් වූ අතර නාගරික මන්ත්රීවරයාට සහ එම වංචාවට සම්බන්ධ තවත් අයෙකුටද වසර දෙකක සිර දඩුවම් නියම කෙරුණා.
රත්තරන් වංචාව සිදු කරණ ලද පවුලට එම රත්තරන් බඩු අහිමි වීම නිසා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හතක මුදලක් ගෙවන මෙන් විනිසුරුවරයා නියෝග කොට ඇති අතර එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් අමතර මාස හයක සිර දඩුවමක් විදීමට සිදුවන බවද නඩු තීන්දුවේ සදහන්.