Tuesday, December 24, 2024

General line - 0115112241

මහනුවරින් හමුදාව ඉවත් කර ගැනීම ගැන පැහැදිළි කිරීමක්

හේමන්ත කහවලගේ




මේ වනවිට මහනුවර ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක නෙත් නිවුස් වෙත කියාසිටියා. ප‍්‍රදේශය සාමකාමී බවද අවධාරණය කෙරුණා. පවතින තත්ත්වය සලකා මහනුවර ආරක්‍ෂාවට අනියුක්ත කර ඇති හමුදා භට කණ්ඩායම් ක‍්‍රමයෙන් ඉවත් කර ගන්නා බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

එමෙන්ම මහනුවර කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් හමුදාවේ හතර දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙම සිද්ධින්වලට සම්බන්ධ වී ඇත්තේ නිවාඩු ලබා සිටියදී බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවයි යුද හමුදාපතිවරයා අවධාරණය කළේ. 

මේ අතර මහනුවර කලහකාරී සිද්ධියට මූලික වූ බව කියන තෙල්දෙණියේදී රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුති පනත අනුව කටයුතු කරනු ඇති.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එක් සැකකරුවෙකු ඉකුත් 22 වනදාත් තවත් දෙදෙනෙකු 24 වනදාත් තවත් අයෙක් මාර්තු 3 වනදාත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද ඊයේ ප‍්‍රකාශ කළේ මෙම පහරදීමට සම්බන්ධ වූ තරුණයින් පිරිසට දඩුවම්දීමේ කි‍්‍රයාවලිය කඩිනම් කරන ලෙස තමා පොලීසියට උපදෙස් දුන් බවයි.

මහනුවර හටගත් කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 161 ක්. දිවයිනේ වෙනත් ප‍්‍රදේශ කිහිපයක ඇති වූ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තවත් 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ආරක්‍ෂාව සදහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවද තවදුරටත් යොදවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. 

මේ අතර මහනුවර දිස්ති‍්‍රක්කයේ සියළු රජයේ පාසල් අද (12) සිට යළි විවෘත කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් සියළු බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඉකුත්දා පැවති කලහකාරී සිද්ධියේදී කිසිදු පාසලක දේපළකට කිසිදු හානියක් සිදුව නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.