Tuesday, December 24, 2024

General line - 0115112241

මහනුවර හානි වූ දේපළවලට වන්දි දීම අරඹයි - දේපළ හානිවූ පුද්ගලයින්ට පොලිසියෙන් පණිවුඩයකුත්

හේමන්ත කහවළගේ/තරංග රුක්ෂාන් ජයසේකර




මහනුවර දිස්ති‍්‍රක්කයේ ස්ථාන කිහිපයක ඇතිවූ සාපරාධි කි‍්‍රයා හේතුවෙන් අලාභ හානිවූ දේපළ සඳහා වන්දි ලබා දීම අද (12) ආරම්භ කෙරෙනවා.

අද සහ හෙට (13) දිනයේදී මූලික අදියරේ වන්දි ප‍්‍රධානයයි සිදු වන්නේ. මාසයක් ඇතුළත සම්පූර්ණයෙන්ම තක්සේරු වාර්තා ලබාගෙන වන්දි ගෙවීමට නියමිතයි. ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි සෑම පියරවක්ම ගන්නා බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

මහනුවර නොසන්සුන්තාවයේදී හානිවූ පූජනීය ස්ථාන සහ දේපළවල වටිනාකම තක්සේරු කිරිම සතියක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන බව මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එච්. එම්. හිටිසේකර නෙත් නිවුස් වෙත කියා සිටියා.

මේ අතර ඉකුත් දින කිහිපයේදී මහනුවර පොලිස් කොට්ඨාශය තුළ සාපරාධි කි‍්‍රයාවලින් හානියට පත්වූ දේපළ පිළිබඳ මෙතෙක් පොලිස් ස්ථානවලට පැමිණිලි කර නොමැති පුද්ගලයින් සිටී නම් නොපමාව ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මේ අතර රටේ කොතැනක හෝ ගැටුමක් වුවහොත් ඒ පිළීබඳ කඩිනමින් සොයා බලන ලෙස දිසාපතිවරුන් හා ප‍්‍රාදේශිය ලේකම්වරුන්ට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. සෑම දිස්තී‍්‍රක්කයකම ආරක්ෂක කමිටු පිහිටුවන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.