මහ කන්නයේ වී අස්වැන්න මේ දිනවල වෙළඳපළට ලැබෙමින් තිබුණත් සහල් මිලෙහි තවමත් අඩුවක් නොවීම ගැටලූ සහිත බව පාරිභෝගියන් පවසනවා. ගොවීන්ටද වී සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබෙන බවටයි චෝදනා නැගෙන්නේ. එසේ තිබියදී පාරිභෝගිකයන්ද පීඩාවට පත්වන බවත් මීට හේතු වී ඇත්තේ විධිමත් නියාමනයක් නොමැති වීමෙන් අතරමැදියන් අයුතු ලෙස ලාභ ඉපැයීම බවත් පාරිභෝගික සංවිධාන පෙන්වා දුන්නා.
පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ කියා සිටියේ මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇති බවයි.
ගොවියා සහ පාරිභෝගිකයා මෙහිදී විශාල පීඩාවට ලක්වන බවත් අතරමැදියන් විශාල ලාභ ලබන බවත් ඔහු පෙන්වා දුන්නා.
ගොවියන්ගෙන් රුපියල් 30ට මිලදී ගන්නා වී කිලෝව සහල් බවට පරිවර්තනය වී වෙළඳපොලට නිකුත් වන විට අධික මිලකට අලෙවි වන බවත් ඔහු පෙන්වා දුන්නා.
විධිමත් නියාමනයක් නොමැති වීම නිසා ප්‍රමිතියෙන් බාල සහල් පරිභෝජනය කිරීමට ද පාරිභෝගිකයන්ට සිදුව ඇතැයි ද මෙහිදී ප්‍රකාශ ඔහු සඳහන් කළා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සමස්ථා ලංකා ගොවිජන සම්මේලනයෙන් ද විමසීමක් කළා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ වී සඳහා ලැබෙන මිල දිනෙන් දිනම අඩුවෙමින් තිබෙන බවයි.
රජය මගින් වී මිලදී ගැනීම සිදුවන්නේද කොන්දේසි රැසකට යටත්ව බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නේ වී
කිලෝ ග්‍රෑම් 2,000 ක් පමණක් බවයි නාමල් කරුණාරත්න කියා සිටියේ.
මෙම පරස්පරය නිවැරදිකර ගොවීන් සහ පාරිභෝගිකයන් යන දෙපිරිසම ආරක්ෂා කිරිම සඳහා විධිමත් නියාමනයක් කඩිනමින් ඇති කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.