Sunday, December 22, 2024

General line - 0115112241

පොලිස් ඇදිරි නීතිය මැද්දේ ඩීසල් ඉල්ලූ සිද්ධිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රි දුන් පිළිතුර (UPDATE)

මේනකා රත්නායක




තමන්ට ඞීසල් ලීටර් 15 ක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආනන්ද අලූත්ගමගේ නාවලපිටිය පොලීසියට බල කර ඇති බවට වාර්තා වනවා.

මහනුවර නොසන්සුන්තාවයේදී එම ප‍්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පැනවූ අවස්ථාවේ ඔහු මෙම බල කිරීම සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථාන ප‍්‍රකාශකයෙකු කියාසිටියේ.

එම අවස්ථාවේදී මන්තී‍්‍රවරයා ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් හිමියෙකුටද ඩීසල් ලබාදෙන ලෙස බලකර තිබෙනවා. මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආනන්ද අලූත්ගමගේ ගෙන් විමසීමක් කළා. ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

(එම හඬපටය මෙතැනින් අහන්න)

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන ලෙස බලකරමින් ආනන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයා ඉකුත්දා එම පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ බිම වැතිරී විරෝධතාවකද නිරත වුණා.

නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මේ සඳහා මැදිහත්වීමෙන් අනතුරුව මන්තී‍්‍රවරයා සිය විරෝධතාව අවසන් කළා. තමන් නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කරමින් ඞීසල් ඉල්ලූ බවට කරන චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් මන්තී‍්‍රවරයා මෙලෙස අදහස් දැක්වුවා.

---------------------------------

පාරේ නිදියගත් මන්ත්‍රී ඇතුළු 12ක් ගැන අධිකරණයට වාර්තාවක්

(17-03-2018 14:00)

 

තමන් නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වූයේ ජනතාව වෙනුවෙන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආනන්ද අලූත්ගමගේ පවසනවා.  ඊට එරෙහිව කවුරුන් හෝ නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගන්නේ නම් එයට මුහුණදීමට සූදානම් බවයි මන්තී‍්‍රවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි කියාසිටියේ.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද රාජපක්‍ෂට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන්නැයි බල කරමින් ආනන්ද අලූත්ගමගේ මන්තී‍්‍රවරයා විරෝධතාවක නිරත වුණේ ඉකුත් සෙනසුරාදායි. ගම්පොල - නාවලපිටිය ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් සුදු ඉරක් මත වැතිර ඔහු මෙම විරෝධතාවයේ නිරත වුණා.

පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මංමාවත් ආඥා පනත යටතේ ආනන්ද අලූත්ගමගේ මන්තී‍්‍රවරයාට එරෙහිව නඩු පැවරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල සහකාර පොලිස් අධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර යටතේ විමර්ශනයක් කි‍්‍රයාත්මකයි. ආනන්ද අලූත්ගමගේ මන්තී‍්‍රවරයා ඇතුළු දෙළොස් දෙනෙකුට එරෙහිව පොලීසිය නාවලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.