Sunday, December 22, 2024

General line - 0115112241

පාසල ලොකු කරන්න කියා යාබද ඉඩම ගන්න විදුහල්පතිනිය ළමයින්ගෙන් සල්ලි එකතු කරයි




පාසලක භූමි ප්‍රමාණය විශාල කිරීම සඳහා දෙමාපියන් අපහසුතාවයට පත් කරමින් මුදල් එකතු කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා. විශාකා විද්‍යාලය නමින් කුලියාපිටියේ පිහිටා ඇති මෙම විදුහල යාබද ඇති පර්චස් 40ක ඉඩමක් මෙලෙස මිලදී ගැනීම සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවයි වාර්තා වෙන්නේ.

මීට අමතරව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන්ද මේ සඳහා මුදල් එකතු කිරීම වෙනුවෙන් වෙනමම කණ්ඩායමක් පත්කර ඇති බවද සඳහන්. 

පාසලේ විදුහල්පතිවරිය වන රූපිකා හත්කුමාරි විසින් මේ සම්බන්ධයෙන් ආධාර පත්‍රයක්ද යොමු කර ඇති අතර පාසලේ සියලු ළමුන් ඊට අවම වශයෙන් රුපියල් 10000 ත් 15000 ත් අතර මුදලක් ප්‍රදානය කළ යුතු බවයි දෙමාපියන් පෙන්වා දෙන්නේ.

මෙම පර්චස් 40යේ ඉඩමේ එක් පර්චසයක් රුපියල් ලක්ෂයක් පමණ වන බවත් කෙසේවෙතත් ආධාර පත්‍රයට අනුව එහි එක් පර්චසයක මිල රුපියල් ලක්ෂ 03ක් පමණ වන බවත් දෙමාපියන් චෝදනා කරනවා.

අදාළ ඉඩම මිලදී ගැනීම සඳහා මේ වන විට මුදලින් කොටසක් ගෙවා වෙන්කරවාගෙන ඇති අතර එය වෙන්කරවා ගෙන ඇත්තේද වෙනත් පුද්ගලයෙකුගේ නමින් බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පවතින චක්‍රලේක අනුව දෙමාපියන් අපහසුතාවයට පත්කරමින් කිසිම පාසලක කිසිඳු කටයුත්තක් සඳහා මුදල් එකතු කළ නොහැකි බවයි.

පාලසට ඉඩමක් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට අදාළ පළාත් සභාව මගින් මුදල් ගෙවා එම ඉඩම ලබාගෙන පාසල සඳහා ලබා දිය යුතු බවද සඳහන් කෙරුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය මට්ටමින් පරීක්ෂණයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා කරුණු සොයා බලා තමා වෙත දැනුම් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් අමාත්‍යාංශ අතිරේක ලේකම් ආචාර්ය මදුරා වේහැල්ල වෙත දැනුම් දී ඇති බවද සඳහන් කළා.