Friday, December 27, 2024

General line - 0115112241

ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ඉහළ ගියත් ඉන්ධන සහනය දිගටම

දිනුක් හේවාවිතාරණ




ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ නොදැමුවේ ජනතාව වෙත තවදුරටත් ඉන්ධන, සහන මිලට ලබාදීමේ ජනතා පොරොන්දුව ඉටු කිරීම සහ අඛණ්ඩව මෙම ඉන්ධන මිල සහනය සැලසීමේ අරමුණ ඇතිව බව රජය දන්වා සිටිනවා.

මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්ට්‍රල් ඔක්ටේන් 95 ලීටරය අලෙවි කරන්නේ රුපියල් 128කට වන අතර ඉන් ලබන පාඩුව රුපියල් 9.32 ක්. පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 117කට අලෙවි කරනු ලබන අතර ඉන් රුපියල් 14.69ක් පාඩුවක් ලබනවා. භූමිතෙල් ලීටරයක් රුපියල් 88.63ක් වන නමුත් සංස්ථාව භූමිතෙල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 44කට යි. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 110කට අලෙවි කරන්නේ රුපියල් 9.49ක පාඩුවක් ලබමින් වන අතර රුපියල් 95ට අලෙවි කරන ඔටෝ ඩීසල් ලීටරයකින් සංස්ථාව ලබන පාඩුව රුපියල් 14.32 ක් වනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2017 වසරේ දී ඔටෝ ඩීසල්, පෙට්ට්‍රල් ඔක්ටේන් 92, පෙට්ට්‍රල් ඔක්ටේන් 95, ගුවන් යානා තෙල්, සුපර් ඩීසල් හා දැවි තෙල් ඇතුළු පිරිපහදු නිෂ්පාදන මෙට්ට්‍ර්ක් ටොන් 3,167,612.250ක් ආනයනය කොට බෙදා හැර ඇති අතර මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 1,536,870,494.97කි. මෙයට අමතරව බොර තෙල් මෙට්ට්‍ර්ක් ටොන් 1,499,395ක් ආනයනය කොට ඇති අතරල එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර්  654,135,179.58 ක් වනවා.

එමෙන්ම මේ වනවිටත් සාමාන්‍ය ජනතාව වෙත ලබාදෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය වහාම අහෝසි කිරීමට ද පියවර ගෙන තිබෙනවා. අඩු ආදායම්ලාභී ජනතාවට, ගොවි ජනතාව සහ ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් අලෙවි කෙරෙන අතර ඔවුන් වෙත අඛණ්ඩව එම සහනය ලබාදීම සඳහා රජය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.

බස් හා දුම්රිය ගාස්තු, විදුලිය හා ජල ගාස්තු වැඩි නොකොට වර්තමාන තත්ත්වයෙන් පවත්වාගෙන යා හැකිවී ඇත්තේ ඉන්ධන මිල ඉහළ නොදැමීම නිසා බව ද රජය පෙන්වා දෙනවා.